විශේෂාංග


Share now!

ප්‍රේමයේ මිහිර අනන්තය දකවා විහිද ගියද, එකී ප්‍රේමය විරහවක් වන මොහොත දෙපාර්ශවයටම කෙසේ හැගෙන්නේදැයි දන්නේ ප්‍රේමවන්තයා හා ප්‍රේම වන්තිය මිස අන් කවරෙක්ද. ලාංකීය ගීත සාහිත්‍ය තුලද කාන්තාව නම් සංකල්පය ඒකාකෘත කරනු ලබන්නේ මෘදු මොලොක් හා පුරුෂයාට සාපේක්ෂව අතිෂය දුර්වල සංඥාවක් ලෙසය. එනයින් අප හට උපකල්පනය කරන්නට මෙකී ගීත සාහිත්‍යය පෙළඹවීම් කරනුයේ විරහව තුලදී ස්ත්‍රිය විසින් ශෝකය කදුලින් මෙන්ම පිටස්තර ලොවේද අනුකම්පාව ලබමින් දරා ගන්නා අතර හැඩි දැඩි පුරුෂයා එය රළු ලෙස ලොවෙන් සගවා රහසේ විදදරා ගන්නා බවය. 

බොහෝ සේවාදාවකයන් හට ඔවුන්ගේ පවුල් ආරවුල් දික්කසාදය දක්වා දුර දිග ගිය කල නීති උපදෙස් ලබා දී ඇතත්, පැටිකල පටන් මා සමග වෙලේ දොලේ පැන එකට හැදී වඩුණු මා කිට්ටු මිත්‍රයකු, දික්කසාදය දක්වා දුර දිග ගිය සිය පවුල් ආරවුල මා ඉදිරියේ තබන තුරු ප්‍රේමයේ විරහව ශක්තිමත් පුරුෂයකු හට කෙසේ දැණුනිදැයි එතරම් ගැඹුරට මා හද ස්පර්ෂ කර නොතිබුණි. ඔහු සිය බිරිද සමග තවත් එකම එක වරක් වෙසීමේ අපේක්ෂාවෙන් මා හරහා ඇයගේ නීතිඥතුමිය වෙත ලියූ නීති ලිපි ගොන්නකි. ඒ සියල්ලක් අලුයම ලූ කෙළ පිඩක් සේ ඉවතලූ ඔහුගේ ප්‍රේමවන්තිය වැනීසියෙ වෙළෙන්දා හි ෂයිලොක් මෙන් මස් රාත්තලම ඉල්ලා අප වෙත එවූ නීති ලිපිය කියැවූ ඔහු මා ඉදිරියේ ඉකි ගසමින් හඩා වැටුණේ ප්‍රේමයේ විරහව පිරිමි හදවතට කෙතරම් ගැඹුරට හගවන්නේ දැයි මා හට කදිමට පසක් කරවමිනි. එසේම පිරිමියා ඉදිරියේ ඔහු කලක් නැළැවූ එකී ප්‍රේමයම විරහවක් වන මොහොතේදී පිරිමි සිතේ අසරණකම කියා පෑමට ලාංකීය ගීත කෙතේ කවි ගී ලියැවුනා මදදැයි මා ඉදිරියේ ජනිත වූ අනෙත් ගැටලුවයි.

ලාංකීය ගීත සාහිත්‍ය තුල විරහවේ ඇති පුරුෂාර්ථ නොහොත් විරහවේ පුර්ෂ භාව‍ය විවිද හැඩයන්ගෙන් අලංකෘත වී පරිනාමය වුවද එය වත්මන තුල කුදු පුරුෂ අදෝනාවක් වෙමින් ඉමහත් අවාසනාවන්ත අන්තයකට සේන්දු වී තිබෙනු දක්නට ලැබෙයි. නමුත් මේ සියල්ලක් අතරේ අන්තර්ජාලයේ ප්‍රචාරය වූ අපූරු ගීතයක් මා සවනෙහි රැදුනේ එහි ගායනයේත්, සංගීතයේත් හා මනරම්ව සිත්තම් කළ පද වැලෙහිත් වූ අපූර්වත්වය හේතුවෙනි.

වැස්ස නුඹ වැහැපන්

මගෙ සිත සේදිලා යනකල්

සුළග නුඹ හමපන්

මගෙ නෙතු වියළිලා යනකල්

ගගුල නුඹ ගළපන්

සෙනෙහසේ ඉවුරු බිද යනකල්

සොදුර නුඹ මගෙ නම්

ආදරේ නොදෙනු ඇයි සැනසුම්

සිතින්ද ගතින්ද එකෙක්ව දෙදෙනා ආදරයෙන් බෙදා හදා ගත් ජීවිතය ඇය විසින්ම අතහැර යන මොහොතක ප්‍රේමය අහිමි වූ ඒ හැදි දැඩි පුරුෂයාගේ සිත කෙතරම් සංවේදීද යන්න වග නීතීඥ තරින්ද ගුණවර්ධන සිය ගී තෙලි තුඩින් සියුම්ව කඩදාසි කොලයක් මත සිත්තම් කරන්නේ සමස්ත පුරුෂ සන්තානයම අවදි කරවමිනි. ප්‍රේමයහට පුරුෂ අප කෙතරම් ලොබ බැන්දද, කෙතරම් ආත්මාර්ථකාමී වුවද, එය පුරුෂයාව හැර යන ක්ෂණය කෙතරම් පෞර්ෂවත් දැවැන්තයෙක් වුවද කිසිදා නොපැතූ අයුරින් වේදනාත්මකව විද දරා ගෙවා දැමිය යුතුය. ඒ සදහා පුරුෂයාගේ පුරුෂාර්ථ අදාල වන්නේම නොමැති තරම්ය. මෙම ගීත සිත්තමේදී තරින්ද එහි සිත්තරා වශෙයෙන් ඉතාමත් සංවේදී ප්‍රවේශයක් ගනියි. ප්‍රේමයෙන් පැරදී පිරිමි සිත ගැළවී පොඩිපට්ටම් වී යන මොහොතකදී  මෙහි තනි වූ කතා නායකයා පිහිට පතන්නේ වසෙන් විසෙන් නොව ස්වභාවධර්මය  නම් වූ උතුම් මාතාවගෙනි. එය ගීතයේ පදවැල පුරාවට දක්නට ලැබෙන අපූර්වත්වයකි.

සඳට අහසට රැයට පෙම් බැඳි

කවි සිතම හඬවා පි

පුණු අරවින්දයක් මත ආදරේ

රස සඟවා

මිහිර විඳ විඳ දුන්නු ලතැවුල්

දෑස තෙත් කරවා

කියන්නෙමි කොඳුරා

මලෙක මල් පෙති සිනිදු වුව කටු

අතර විස රඳවා

සිනිදු සුසිනිදු මිහිරි වෙණ මත

ස්වප්න ස්වර බිඳවා

සොරාගෙන ගිය මල් සුවඳ නිති

ලයම ගොළු කරවා

විඳින්නෙමි සැමදා

තරින්දගේ පද පෙළෙහි මා දුටු අනෙත් අපූර්වත්වය නම්, එකී බිදුණු සිතෙහි වේදනාත්මක සංඥා අපූර්වත්වයකින් යුතුව ශ්‍රාවකයා හට තමන්ගේම කොට විද ගැනීමට ඉඩ සැලැස්වීමයි. මෙය ගීත සාහිත්‍යය තුල අහම්බයෙන් දක්නට ලැබෙන කදිම සුබවාදී ප්‍රවේශයකි.

තරින්දගේ අපුරු පද සිත්තම තවත් අර්ථවත් කරමින් විශාරද දර්ශන වික්‍රමතුංගගේ සුමිහිරි සංගීතයේ රුව ගුණ කැපී පෙනෙයි. උත්තර භාරතීය සංගීත ශානරයට සුසර වන දර්ශනගේ සංගීත රටා මෙම ගීතයේදී තරමක වෙනස් හැඩතලයන්ගෙන් යුතුව ඉදිරියට පැමිණීම ඔහුගේ සංගීත පරාසය තවත් පුළුල් කරවන සන්ධිස්ථානයකි. එසේම ඉන්දික ලියනගේ නම් නවක ගැයුම්කරුවාගේ නැවුම් හඩද මෙම ගීතයට කදිම සාධාරණයක් ඉටු කොට තිබේ.

සමකාලීන අප හට ඩිජිටල් මාධ්‍යය මගින් බලහත්කාරයෙන් ශ්‍රවණය කරවන විරහව ඉදිරියේ දේවාල පොල් ගසමින්, පෙම්වතියට ආත්ම ගණනකට සාප කරමින්, පස් වැලි කමින් අප ඇස්, කන් ඉදිරියේ සුණු විසුනු කර දමන එකී පුරුෂයාගේ පිරිමි හැගීම, මෙලෙස වඩාත් ගෞරවයෙන් යුතුව, සොවින් තැවෙමින් පරාජය වූ ආත්මයකට උරුමකම් නොකියමින් ඉන් මිදීම සදහා තරින්ද ගත් උත්සහය සුභාවිත ගීත ලෝලී සියල්ලන්ගේ ඇගයීමට පාත්‍රවිය යුතුය.

නීතීඥ තිලංග ශ්‍යාමජිත් ෆොන්සේකා