ප්‍රබෝධා හෙට්ටිආරච්චි
ඉන්දියාවේ පෝර්බන්දර් වෙරළාශ්‍රිත මුහුදේදී පසුගිය මාසයේ අත්අඩංගුවට ගැනුණු හෙරොයින් මත්කුඩු කිලෝ 100ක ජාවාරම සම්බන්ධයෙන් ඇෆ්ගනිස්ථාන ජාතිකයකු ඇතුළු දෙදෙනෙක් ඊයේ ඉන්දීය ත්‍රස්ත විරෝධී බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දීය ආරක්ෂක අංශ පවසා තිබුණේ ඉන්දීය රුපියල් කෝටි 500ක (ශ්‍රී ලංකා රු. කෝටි 1261ක් පමණ) මිලැති මෙම මත්කුඩු ජාවාරම් කර තිබුණේ ඉන්දියාවේ බෙදාහැරීමට නොව, ජාත්‍යන්තර මත්කුඩු වෙළෙදපොළ ඉලක්ක කොටගෙන බවයි.
ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණේ මොහොමඩ් අබ්දුල් සලාම් කුන්නි නමැති කේරළයේ කසාර්ගොඩ්හි පදිංචි ඉන්දියානුවෙක් සහ ඇෆ්ගනිස්ථානයේ ලෝගාර්හි පදිංචි නියාමත් ඛාන් අහ්මෙඩ්සායි නමැති ඇෆ්ගනිස්ථානු ජාතිකයෙකි.
මත්කුඩු තොගය සමග පෙර අත්අඩංගුවට ගැනුණු ඉරාන ජාතිකයන්ගෙන් කරන ලද ප්‍රශ්නකිරීම්වලින් ඔවුන්ගෙන් කුඩු තොග භාරගත් ඇෆ්ගනිස්ථානුවා සහ ඉන්දියානු ජාතිකයා වැටලීම සිදුකර කර තිබුණි.
ඇෆ්ගනිස්ථානු ජාතිකයාට භාරවී ඇත්තේ මත්කුඩු ඉරාන ජාතිකයන්ගෙන් ලබාගෙන ඉන්දියානුවාට භාරදීමයි.
ඒ සදහා ඇෆ්ගනිස්ථානු ජාතිකයාට ඉන්දීය රුපියල් ලක්ෂ 8ක් ලබාදීමට ජාවාරම්කරුවන් පොරොන්දු වී තිබේ.
එම මත්කුඩු භාරගන්නා කුන්නි විසින් ඒවා චෙන්නායි සහ මල්ලුපුරම් වෙත ගෙනයාමට සැලසුම් කර තිබූ අතර එතැනින් ඉන්දියාවෙන් පිටත රටවලට ගෙනයාම සදහා වරාය හා ගුවන් තොටුපල වෙත සිටින අනෙක් නියෝජිතයන්ට මේවා භාරදීමට ඉන්දියානුවාට පැවරී තිබුණි. ඒ සදහා ඔහුට ගෙවීමට පොරොන්දු වී ඇති මුදල ඉන්දීය රුපියල් ලක්ෂ 11කි.
ඉන්දීය වෙරළාරක්ෂක බළකාය සහ ත්‍රස්ත විරෝධී බළකාය ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස මෙම මත්කුඩු තොගය සමග හා ඉරාන ජාතිකයන් 9 දෙනකු අත්අඩංගුවට ගෙන තිබුණේ පසුගිය මාර්තු 27 වැනිදායි.
වැටලීම සිදුකිරීමේදි සාක්ෂි විනාශ කිරීම සදහා සැකකරුවන් විසින් බෝට්ටුව ගිනි තැබූ බවත් වාර්තා විය.
ගිනිගැනීම නැවතීමට ආරක්ෂක අංශ උත්සහ කළ ද බෝට්ටුව මුහුදුබත් වී තිබේ.
කෙසේවෙතත් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කරන ලද දීර්ඝ ප්‍රශ්නකිරීම්වලදී මත්කුඩු තොගය පැමිණි ගමනට සම්බන්ධ නම් ගණනාවක් හෙළිදරව් වී ඇත.
මෙම ජාවාරමේ ප්‍රධානතම ජාවාරම්කාර ව්‍යාපාරිකයා ලෙස දැනට හදුනාගෙන ඇත්තේ ඉන්දියාවේ අරුන්ගාබාද්හි බදුර්දින් ෂෙයික් නමැත්තෙකි.
මෙම මත්කුඩු ජාවාරම පාකිස්ථානයෙන් ආරම්භ වී ඇති බවත් ඇෆ්ගනිස්ථානයෙන් ලබාගන්නා කංසා මෙහිදී හෙරොයින් මත්කුඩු බවට හුවමාරු කොට ලොව පුරා බෙදාහරින බවටත් මේ වනවිට තොරතුරු අනාවරණය වෙමින් පවතින බවට ඉන්දිය ආරක්ෂක අංශ පවසයි.

