වී මිල ඉහල ගියේ ඇමතිගේ ප්‍රකාශය නිසාද ?

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉදිරියේදී රට තුල සහල් හිගයක් ඇති වන බවට කෘෂිකර්ම අමාත්‍යවරයා කළ ප්‍රකාශය මත කැළඹීමට පත් ජනතාව වී තොග රැස් කිරීම හේතුවෙන් මේ වනවිට කිලෝ 64 ක වී මිටියක මිල රුපියල් 10,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණයේ මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති බී.කේ.රංජිත් මහතා පවසයි.

මේ වනවිට කුඩා මෝල් හිමියන් සතුව වී තොග නොමැති බව සදහන් කළ සභාපතිවරයා , බොහෝ දෙනා වී රැස් කිරීම හේතුවෙන් නාඩු සහ සම්බා වී මිල ඉහළ යාම මත ප්‍රවාහන ගාස්තු ඇතුලු සියලු වියදම් සමග කිලෝ 64 ක වී මිටියක් මරදගහමුලට ලැබෙන විට රුපියල් 10,350 ක් වන බවත් මේ අනුව අද වනවිට නාඩු සහල් කිලෝවක් රුපියල් 290 ක තොග මිලකට අලෙවි කිරීමට සිදුව ඇති බවත් සභාපතිවරයා පෙන්වා දෙනු ලැබීය.

පවතින තත්ත්වය අනුව රජයේ පාලන මිලට සහල් ලබාදීම කළ නොහැකි බව පෙන්වා දුන් සභාපති රංජිත් මහතා, රට තුල සහල් හිගයක් ඇති වීමට හේතුවක් නොමැති බවත් ඉදිරි මාස තුනක කාලයක් සදහා අවශ්‍ය තරම් සහල් තොග පවතින බවත් පැවසූ අතර පොහොර අවශ්‍ය පරිදි නොමැති වුවද වර්ෂාව ලැබීම මත ගොවීන් කුඹුරු අස්වැද්දීම හේතුවෙන් යල කන්නයේ අස්වැන්නද ඉදිරියේදී ලැබෙන බැවින් බියවිය යුතු තත්ත්වයක් නොමැති බවත් පැවසීය.

රට තුල සහල් හිගයක් ඇති වන බවට ජනතාව කැළඹීම හේතුවෙන් වී රැස් කිරීමට යොමුවීම මත වී තොග පවතින ප්‍රදේශවල සිට දුම්රියෙන් විශාල වශයෙන් විවිධ ප්‍රදේශයන්ට ගෙන්වන තත්ත්වයක්ද පවතින බවද සභාපති රංජිත් මහතා පෙන්වා දෙනු ලැබූ අතර මේ බව දුම්රිය ස්ථාන මගින්ද තහවුරු විය.