ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ ලංවිම සභාපති ගෙදර යයි

Picture of අසංක

අසංක

ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩෝ ඉල්ලා අස්වී තිබේ.

එහි නව සභාපතිවරයා ලෙස උප සභාපති නලින්ද ඉලංගකෝන් පත් කළ බව විදුලිබල අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.

එම්.එම්.සී ෆර්ඩිනැන්ඩෝ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය බාරගත් බව හෙතෙම සඳහන් කළේය.

මන්නාරමේ යෝජිත සුළං විදුලි ව්‍යාපෘතිය අදානි සමාගමට ලබාදෙන ලෙස ඉන්දීය අගමැතිවරයා ඉල්ලා ඇතැයි ජනාධිපතිවරයා තමාට පැවසූ බවට ලංකා විදුලිබල මණ්ඩ‍ලයේ සභාපතිවරයා විසින් රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවේදී පසුගිය දා ප්‍රකාශ කර තිබුණි.

ඉන්පසුව ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ තමා කිසිදු ලෙසකින් මන්නාරම ව්‍යාපෘතිය පැවරීමට බලපෑමක් නොකළ බවට ය. ජනාධිපතිවරයා ලංවිම සභාපතිවරයාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කළේය.

අනතුරුව ලංවිම හිටපු සභාපතිවරයා අදාළ කමිටු සභාපතිවරයා වෙත දන්වා තිබුණේ එම අවස්ථාවේදී කමිටුව හමුවේ ඇතිවූ පීඩනය සමඟ හැඟීම්බර වූ බැවින් එවැන්නක් කියවුණු බවත් එම ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා බවත් ය.

මෙම ප්‍රකාශ හුවමාරුව සිදුවීමෙන් අනතුරුව ආන්දෝලනාත්මක ප්‍රකාශය කරන ලද ලංවිම සභාපතිවරයා අද ඉල්ලා අස්විය.