ෂැංග්‍රීලා බෝම්බකරුගේ මාතලේ ඉඩමක් ප්‍රා.සභාවට පවරා ගනී

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොළඹ – ෂැංග්‍රිලා හෝටලයට බෝම්බ ප්‍රහාර එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුට අයත් බවට පැවසෙන මාතලේ – කැටවල හතමුණගාල ගමේ පිහිටි අක්කර 22 ක් පමණ ඉඩම වහාම රාජසන්තක කර එම ඉඩම කසළ ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතියට මාතලේ ප්‍රාදේශීය සභාවට පවරා ගැනීමට කටයුතු කරන ලෙස මාතලේ ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් වූ යෝජනාව ඊයේ (13දා) ඒකමතිකව සම්මත වී තිබෙනවා.

මාතලේ ප්‍රාදේශීය සභා සභාපති කපිල බණ්ඩාර හීන්දෙනිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සභාවට පොදුජන පෙරමුණ ප්‍රාදේශීය සභා මන්ත්‍රී නාලක කෝට්ටගොඩ මහතා විසින් යෝජනාව ඉදිරිපත් කළ අතර එම පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී අජන්ත විජේසේකර මහතා විසින් එම යෝජනාව ස්ථිර කරන ලැබුවා.

මෙම යෝජනාව සභාවට ඉදිරිපත් කරමින් ප්‍රාදේශීය සභා මන්ත්‍රී නාලක කෝට්ටගොඩ මහතා කියා සිටියේ මාතලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කසළ බැහැර කිරීමට ඉඩමක් නොමැති නිසා සළ ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වී තිබෙන බව හා ඒ සඳහා මෙම බෝම්බකරුගේ ඉඩම යොදාගැනීම ඉතා යෝග්‍ය බවයි.

අදාළ ඉඩම ෂැංග්‍රිලා හෝටලයට බෝම්බ ප්‍රහාර එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුට අයිති ඉඩමක් බවට දැනට විමර්ශනවලදී හෙළිවී තිබෙන බවද නාලක කෝට්ටගොඩ මහතා පැවසුවා.