විශේෂාංග


Share now!

තරුණ නාට්‍ය කරුවෙක් ලෙස ශ්‍රී ලාංකීය නාට්‍ය කලාවට ස්වතන්ත්‍ර නාට්‍ය බොහොමයක් එක් කළ අඛිල සපුමල් , ඔහුගේ අසමා නාට්‍ය උළෙල පිළිබඳවත්, ටවර් හෝල් රඟහල පදනම සංවිධානය කරන අපේක්ෂා නාට්‍ය උළෙල නියෝජනය කරන තම නාට්‍ය නිර්මාණය පිළිබඳවත් අපිත් එක්ක අදහස් බෙදාගත්තෙ මෙහෙමයි.


*. අඛිල , අලුත් අවුරුද්දේ මොනවද අලුත් සැලසුම් ?

ජනවාරි මාසෙ අසමා නාට්‍ය උළෙල පවත්වන්න සූදානමින් ඉන්නෙ. ඒ වගේම ජනවාරි 9 වන දා ආරම්භ වන 2023 ටවර් නාට්‍ය උළෙලේ ජනවාරි 16 හිනා වෙලා මිනිත්තුවක් නාට්‍යය වේදිකා ගත වෙනවා. ඊට අමතරව ලංකාව පුරා නාට්‍ය දර්ශන කිහිපයක් පවත්වන්නත් නාට්‍ය දර්ශන සඳහා ඇරයුම් බාරගන්නත් මේ වසරේ බලාපොරොත්තු වෙනවා.


*. මොකද්ද මේ ‘අසමා’ නාට්‍ය උළෙල ?

අඛිල සපුමල් මානවඩු කියන මගේ නමේ මුල් අකුරු ටික යොදා ගෙන තමයි මේ අසමා යන නම නිර්මාණය කර තිබෙන්නේ. මගේ සෑම නාට්‍ය නිර්මාණයක්ම හඳුන්වන්නේ අසමා නාට්‍යයක් ලෙසයි. ජනවාරි 13, 14, 15 බොරැල්ල පුංචි තියටර්හි දී පවත්වන්න නියමිත නාට්‍ය උළෙලත් අසමා නාට්‍ය උළෙල ලෙස නම් කළා. එහිදී අපි සම්ප්‍රදාය සුරකිමින් සෞන්දර්යාත්මක ගුණයෙන් බලාත්මක නාට්‍ය 03ක් වේදිකා ගත කරන්න සූදානමින් ඉන්නෙ.


*. වේදිකා ගත වන නාට්‍ය වල විශේෂත්වයක් තියෙනවද ?

ඔව්. ඇත්තවශයෙන්ම. මේ නාට්‍ය තුන වඩාත්ම වැදගත් වන්නේ උසස් පෙළ නාට්‍ය හා රංග කළාව හදාරන පාසල් සිසුන්ට හා විශ්වවිද්‍යාල සිසුන්ට. මේ වසරේ උසස් පෙළ විභාගයට ඉදිරිපත් වන සිසුන්ට කොවිඩ් වසංගතය නිසා අධ්‍යාපනය විශාල ලෙස මගහැරුණා. ඒ නිසාම මේ නාට්‍ය උළෙල ඔවුන් මූලික කරගෙනයි පවත්වන්නේ.
නාට්‍ය හා රංග කළාව පාසල් විෂය මාලාවට එක් කළේ 1997 වසරේ. මේ නාට්‍ය තුනම මුල් අවදියේ පටන්ම පාසල් විෂය නිර්දේශයට අයත් නාට්‍ය. ලෝක ප්‍රකට නාට්‍ය සම්ප්‍රදායන් තුනකට අයත් මෙම නාට්‍ය අධ්‍යාපන අමාත්‍යාංශය මැදිහත්ව නිර්මාණය කර පාසල් සිසුන් වෙනුවෙන් නොමිලේ වේදිකා ගත කළ යුතුයි. එසේත් නැතිනම් එවැනි නාට්‍ය නිර්මාණය කරන නිර්මාණකරුවන්ට අනුග්‍රහය දැක්විය යුතුයි. නමුත් එවැන්නක් මෙතෙක් කාලයකට සිදු වූයේ නෑ. නාට්‍ය හා රංග කළාව හැදෑරූ ශිෂ්‍යයෙක් ලෙස හා එම විෂය උගන්වන ගුරුවරයෙක් ලෙස සිසුන් පත් වන අපහසුතාව තේරුම් ගෙන තමයි මම ඊඩිපස්,ජුලියස් සීසර් හා සාකුන්තලය යන මේ නාට්‍ය ත්‍රිත්වය මගේ පෞද්ගලික වියදමින් නිර්මාණය කළේ.
ජනවාරි 13 අවුරුදු 400ක් පැරණි “ජුලියස් සීසර්” එක්ක එළිස්බෙතීන නාට්‍ය සම්ප්‍රදායත්, ජනවාරි 14 අවුරුදු 2400ක් පැරණි “ඊඩිපස්” එක්ක ග්‍රීක නාට්‍ය සම්ප්‍රදායත්, ජනවාරි 15 අවුරුදු 1500ක් පැරණි “සාකුන්තලය” එක්ක
සංස්කෘත නාට්‍ය සම්ප්‍රදායත් දකින්න පුළුවන්.


*. දර්ශන වාර පිළිබඳවත් දැනුවත් කිරීමක් කරනවා නම්

බොරැල්ල පුංචි තියටර්හිදී ජනවාරි 13,14,15 යන දවස් තුනේ පාසල් ළමුන් සඳහා 2.30 ටත්, මහජන දර්ශනය 5.30 ටත් වේදිකා ගත වෙනවා. පාසල් ළමුන්ගේ ප්‍රවේශ පත්‍ර සඳහා විශේෂ මිළ අඩු කිරීමක් කරනවා.


*. ටවර් හෝල් නාට්‍ය උළෙල පිළිබඳවත් මතක් කරනවා නම්,

මේ නාට්‍ය උළෙල ආරම්භ වුණේ ඩග්ලස් සිරිවර්ධන මහත්මයාගේ සංකල්පයකට අනුව. එය කොවිඩ් වසංගත සමයේ ප්‍රේක්ෂකාගාරයෙන් දුරස් වු ප්‍රේක්ෂකයන් නැවත ප්‍රේක්ෂකාගාරය වෙත කැඳවාගෙන ඒමට සමත් වූවා. එය අවස්ථා දෙකකදී අති උත්කර්ෂවත් ලෙස පවත්වන්න හැකි වුණා. අවස්ථා දෙකේදී මගේ නාට්‍ය තුනක් ඒ සඳහා ඉදිරිපත් කිරීමට ඉඩකඩ ලැබුණා. මගේ නාට්‍ය තුන සඳහා අවස්ථාව හිමි වන්නට එම නාට්‍ය සඳහා වූ ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හේතු වන්නට ඇති කියලා මම හිතනවා.
මෙවර නාට්‍ය උළෙල ජනවාරි 9 වන දා සිට 24 වන දා තෙක් 3.30 සහ 6.30 වශයෙන් දර්ශන වාර දෙකක් තිබෙනවා.
ටවර් රඟහලේ 3.30ත්, එල්ෆින්ස්ටන් රඟහලේ දී 6.30ත් නාට්‍ය දෙකක් වේදිකාගත වෙනවා.


*. ප්‍රේක්ෂා නාට්‍ය උළෙල මෙවර අපේක්ෂා ලෙස නම් කර තිබෙනවා. ඒ පිළිබඳ මොකද්ද ඔබේ අදහස ?

ඒ පිළිබඳව නම් මගේ එතරම් පැහැදීමක් නැහැ. නාට්‍ය උළෙලේ ගුණාත්මක බව ඉහළ නැංවීම වෙනුවට නම වෙනස් කිරීම යෝග්‍ය වන්නේ නෑ. එසේ වන්නේ ඇයි කියන්න නොතේරුණත් නාට්‍ය කලාව තුළ බෙදීම් තිබිය යුතු නැහැ. සමාජ ගත වූ නාට්‍ය උළෙලේ අඩුපාඩු සකසා එයම දියුණු කළේ නම් වඩාත් හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්නට තිබුණා යන්න මගේ හැඟීමයි. තවත් කාරණාවක් මම මෙතන දී මතක් කරන්න ඕන. නාට්‍ය තෝරා ගැනීමේදී ප්‍රේක්ෂා නාට්‍ය උළෙලේ මෙන් සැලකිලිමත් වූ බවක් පෙනෙන්නටත් නැහැ. විශාල කැපකිරීමක් කරමින් නාට්‍ය ශාලාවට එන ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු කඩ වුවහොත් නැවත සාර්ථක නාට්‍ය උළෙල පැවැත්වීමට නොහැකි වේවි. කෙසේ නමුදු නාට්‍ය උළෙලක් සංවිධානය කිරීම පිළිබඳ ටවර් හෝල් රඟහල පදනමට ස්තූතිවන්ත වෙනවා. අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය වෙනදාටත් වඩා සාර්ථක වනු ඇතැයි යන යහපත් අපේක්ෂාව ඇතුව බලා සිටිනවා.


*. නාට්‍ය නිර්මාණකරුවෙක් විදියට වර්තමාන ආර්ථිකය කොහොමද නාට්‍ය කෙරෙහි බලපෑම් එල්ල කරන්නේ?

ඇත්තටම හැම වියදමක්ම තුන් ගුණයකින් වැඩි වෙලා තියෙන්නේ. පුහුණු වීම් කරද්දී ලබා දෙන කෑම පැකට් එකේ පටන් සියලුම දේ මිළ ඉහළ ගිහින්. අතිශය අසීරුවෙන් තමයි නාට්‍ය වල වැඩ කටයුතු සිදු කරන්නේ. දැන් මෙය අත් හැරලා යන මට්ටමක පීඩනයකින් තමයි ඇත්තටම අපි ඉන්නෙ. නමුත් අපි ආරාධනා කරනවා ප්‍රේක්ෂකයන්ට ඔබ ආවොතින්, ඔබ පිරුණොතින් ඔබගේ ආශිර්වාදය ලැබුණොතින් අපිට තව දුරටත් මේක කරගෙන යන්න පුළුවන්. උසස් නාට්‍ය නිර්මාණ ඔක්සිජන් වගේ. එය මියැදුණොත් අවර ගනයේ නාට්‍ය පමණක් බිහි වේවි,ඉතිරි වේවි.


*. දශක හයකට අධික කාලයක පටන් යහපත් සමාජයක් ගොඩ නගනු වස් ප්‍රශස්ත නාට්‍ය නිර්මාණය වුවත්, නාට්‍යකරුවා බලාපොරොත්තු වන සමාජය ගොඩ නැගීමට අපොහොසත් වී තිබීම ඔබ දකින්නේ කෙසේද?

ඇත්තටම ඒක හොඳ ප්‍රශ්නයක්. සමාජයේ වෙනස් විය යුතු මිනිස්සු නාට්‍ය නොබලන එක ඛේදයක්. හැමදාමත් නාට්‍ය බැලුවේ යහපත් පවුල් පසුබිමක් තිබෙන , යහපත් සමාජ ඇසුරක් තිබෙන , නාට්‍ය බලන, පොත පත කියවන මිනිස්සුම තමයි නාට්‍ය බලන්නෙ.නාට්‍ය බලන්න හික්මීමක් තියෙන්න ඕන. රටක් වෙනස් කරන්න නම් අගනුවරට සීමා වුණ නාට්‍ය කලාව ගම් නියම් , ගම් දනව් කරා ව්‍යාප්ත කළ යුතුයි.


සටහන – සෝබා කෝලියවංශ.