බදුරලිය ඉස්කෝලෙට බෝම්බ ගෙනා ගම්වාසීන් දෙදෙනා අත්අඩංගුවට

Picture of අසංක

අසංක

බදුරලිය ප්‍රදේශයේ පාසලකට සැලසුම් සහගත ලෙස අත්බෝම්බ සහිත පාර්සලයක් ගෙනත් දැමූ පුද්ගලයන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේම ගම්වාසීන් දෙදෙනෙකි.

මොවුන් දෙදෙනා දින කිහිපයක සිට පාසල අවට සැරිසරනු දක්නට ලැබී තිබේ.

අද අලුයම මෙම පාර්සලය පිළිබඳ විදුහල්පතිට හෝ පොලීසියට හෝ නොදන්වා මොවුන් පන්සලේ ඝණ්ඨාව නොනවත්වා නාද කර ගම්වාසීන් පන්සලට ගෙන්වා ඇත.

ඉන්පසුව ළමුන් පාසලට නොයවන ලෙස පවසමින් ගම්වාසීන් නොසන්සුන් කළ මොවුන් දෙදෙනා උදෑසන 6.30 වනවිට ප්‍රදේශයේ යම් තරමින් කලබලයක් ඇති කිරීමට ක්‍රියා කර තිබේ.

මෙම ක්‍රියාව පසුපස වෙනත් බලවේග ඇත්ද සැකකරුවන් මෙසේ කළේ ඇයිද යන්න පිළිබඳ ඔවුන්ගෙන් පොලීසිය ප්‍රශ්න කරමින් සිටියි.