ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය හැඳුනුම්පත හා එහි නීතිමය පසුබිම

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාව තුළ ජනමාධ්‍යවේදීන් සඳහා වූ හැඳුනුම්පත නිකුත් කරනු ලබන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන්, නිසි බලධරයා ලෙස කටයුතු කරන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුක්තව ය.

ජනමාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතනවල සේවය කරන කැමරා ශිල්පීන්, කාර්මික අංශ ශිල්පීන් ද ඇතුළත් ව, සෑම වසරකම 6,000කට ආසන්න පිරිසකට මෙම හැඳුනුම්පත් නිකුත් කරන කරනු ලබයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ජනමාධ්‍යවේදීන් සඳහා හැඳුනුම්පතක් නිකුත් කිරීම සම්බන්ධයෙන් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ 2022 වසරේදී කරුණු විමසීමක් සිදු කළේ ය.

ඊට පිළිතුරු ලබා දෙමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසා තිබුණේ, දෙපාර්තමේන්තුව විසින් ජනමාධ්‍යවේදීන්ට හැඳුනුම්පතක් නිකුත් කරනු ලබන්නේ එහි වාර්ෂික සැලැස්ම යටතේ ජනමාධ්‍ය කේෂ්ත්‍රය වෙනුවෙන් කරන මෙහෙවරක් ලෙස බව ය.

එමෙන්ම, ජනමාධ්‍ය හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම් සහිත ගැසට් නිවේදනයක් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයා නිකුත් කරනු ලැබුවේ කුමන නීතියක් යටතේ ද යන්න එහිදී ප්‍රශ්න කර තිබුණි.

ඊට පිළිතුරු ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ එම ගැසට් නිවේදනය නිකුත් කරනුයේ ව්‍යවස්ථාපිත නීතියකට අනුව නොව ඔවුන්ගේ දෙපාර්තමේන්තුවේ වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම යටතේ අනුමත කාර්ය පටිපාටිය යටතේ බව ය.

අප කල විමසීමකදී තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු ජයවර්ධන පැවසුවේ මෙම හැඳුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රමවේදය නිවැරදි නොවන බවය.

“ජනමාධ්‍යවේදීන්ට හැඳුනුම්පතක් රජයෙන් නිකුත් කළ යුතු නෑ. නමුත් ශ්‍රී ලංකාවේ සිදුවෙන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් තමයි හැඳුනුම්පතක් නිකුත් කරන්නනේ. සමහර රටවල්වල මාධ්‍ය ආයතනවලින් හැඳුනුම්පත් නිකුත් කරනවා. සමහර රටවල්වල මාධ්‍ය සංවිධානවලින් හැඳුනුම්පතක් නිකුත් කරනවා. ලංකාවේ ජනමාධ්‍යවේදීන් සම්බන්ධ වරලත් ආයතනයක් නෑ,” ඔහු පවසයි.

“ලංකාවේ දැනට තියෙන ක්‍රමය තමයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් හැඳුනුම්පතක් නිකුත් කරන එක. මේ හැඳුනුම්පත එන්නේ නීතියක් යටතේ නෙවෙයි, ආයතනය ගත්ත තීන්දුවක් අනුව. ඒකට කිසිම වලංගු භාවයකුත් නෑ. ඒ බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අපට ලිඛිතව දැනුම්දීලා තියෙනවා. එතකොට මේ ක්‍රමවේදය වැරදියි.”

ඔහු පෙන්වා දෙන්නේ ඇමතිවරයා විසින් මතුකරන ප්‍රශ්නයට අදාළ වන්නේ මාධ්‍ය හැඳුනුම්පත සම්බන්ධ ප්‍රශ්නයක් නොවන බව ය. එය දෙපාර්ශවයේම වෘත්තීයභාවය සම්බන්ධ ප්‍රශ්නයක් බව ඔහු පවසයි.

“දැන් මේ ප්‍රශ්නය මතුවුනේ කැබිනට් ප්‍රෙස් එක හින්දා. ඇමතිවරයා මෙහෙම කියන්නේ මාධ්‍යවේදීන් ප්‍රශ්න අහන හින්දනේ. ප්‍රශ්න අහන හැමෝටම වගේ ඔය කියන හැඳුනුම්පත තියෙනවා. එතකොට තියෙන්නේ හැඳුනුම්පතේ ප්‍රශ්නයක් නොවෙයි, මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය පිළිබඳ ප්‍රශ්නයක් සහ ඇමතිවරයා ප්‍රශ්නවලට උත්තර දුන්න විදිහේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ,” ඔහු පැවසුවේ ය.

එමෙන් ම රජය විසින් මෙලෙස මාධ්‍ය හැඳුනුම්පතක් නිකුත් කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් විවිධ මත දරන නිසා, එලෙස ලබා ගැනීමට අකමැති මාධ්‍යවේදීන්ට මෙවැනි අනිවාර්යකිරීමක් හරහා අසාධාරණයක් සිදුවන බව ඔහු පවසයි.

“සමහර මාධ්‍යවේදීන් ඉන්නවා රජයෙන් හැඳුනුම්පත ගන්නේ නෑ.රජය එහෙම හැඳුනුම්පතක් දෙන්න අවශ්‍ය නෑ, ඒක වැරදී කියලා හිතෙන නිසා ගන්නේ නෑ. එතකොට ඒ වගේ අයට ඔය තීන්දුවෙන් වෙන්නේ ලොකු අසාධාරණයක්.”

තවද රජය විසින් නිකුත් කරන මෙම හැඳුනුම්පත මාධ්‍යවේදීන් නොවන පිරිස්වලට ද ලබා දෙන බව ඔහු පෙන්වා දුන්නේ ය.

ඔය හැඳුනුම්පත තියෙන හැමෝම ජනමාධ්‍යවේදීන් නෙවෙයි. පහුගිය අවුරුද්දේ අන්තිම වෙද්දී රජයේ හමුදාවල සෑහෙන්න පිරිසකට ඔය හැඳුනුම්පත තිබුණා. පොලිසියේ අයට හැඳුනුම්පත් දීලා තිබුණා. ඒ නිසා හැඳුනුම්පතේ ප්‍රශ්නය හරිම අසාධාරණ ප්‍රශ්නයක්.”

මෙලෙස ජනමාධ්‍ය හැඳුනුම්පත අනිවාර්ය කිරීම සහ එය නොමැති මාධ්‍යවේදීන්ට සීමා පැමිණවීම මාධ්‍ය නිදහසට සහ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට සිදුකරන බලපෑමක් බව මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන පෙන්වා දෙයි.

“කැබිනට් මාධ්‍ය හමුව තමයි රජයේ ප්‍රධාන ම මාධ්‍ය හමුව. ඒ මාධ්‍ය හමුවේදී ඉස්සර ඉඳන් ම ජනමාධ්‍යවේදීන් ගිහින් ප්‍රශ්න අහනවා. ජාතික වැදගත්කමක් තියෙන ගොඩක් දේවල් ගැන අහලා තියෙනවා,” ඔහු පැවසුවේ ය.

එමෙන් ම ඔහු පෙන්වා දෙන්නේ බොහෝ විෂය භාර ඇමතිවරුන් නිසි ලෙස ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මාධ්‍යවේදීන් යම් යම් දේවල් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ඇති එක ම අවස්ථාව මෙම මාධ්‍ය හමුව බව ය.

“අනිත් ඇමතිවරුන් හරියට ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නෑ. ජනමාධ්‍යවේදීන්ට ප්‍රශ්න අහන්න හම්බෙන එකම තැන ඔතන විතරයි. ඒ ප්‍රශ්නවලට දෙන උත්තරවලින් තමයි මිනිස්සු ගොඩක් දේවල් දැනගන්නේ. එහෙම නැතිනම් සාමාන්‍යයෙන් වෙන්නේ කැබිනට් තීන්දු ගැන කිව්වා කියලා තේරුමක් නෑනේ. ඒක වෙබ් එකටත් දානවනේ.”

ඔහු පවසන්නේ ජනමාධ්‍යවේදීන්ගේ “වෘත්තීයභාවය පිළිබඳ ප්‍රශ්නයක් නිසා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න ඇසීම සීමා කරනවා නම් හෝ ප්‍රශ්න අහන ජනමාධ්‍යවේදීන්ට එන්න නොදෙනවා නම් එය තොරතුරු දැනගැනීමේ අයිතිය සහ භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය කියන දෙකම උල්ලංඝණය කිරීමක්,” බව ය.

මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබේ නම් එයට කළ යුතු වන්නේ මාධ්‍ය ක්ෂේත්‍රයේ සිටින පාර්ශවකරුවන් විසින් ඒ සඳහා ස්වාධීන යාන්ත්‍රණයක් ගොඩ නැගීම පමණක් මිස හැඳුනුම්පත අනිවාර්ය කිරීම නොවන බව මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන පැවසුවේ ය.

“ජනමාධ්‍ය සංවිධාන එකතුවෙලා, ජනමාධ්‍යට සම්බන්ධ සියලු ආයතන සම්බන්ධ කරගෙන ජනමාධ්‍යවේදීන් සඳහා ස්වාධීන ආයතනයක් පිහිටුවන්න ඕනේ. ඒක හදන්න ඕනේ ජනමාධ්‍ය සමාජය විසින්. එහෙම හදන යාන්ත්‍රණයට නෛතික පිළිගැනීමක් දෙන්න රජයට පුළුවන්. මම හිතන්නේ ඒක තමයි ඉක්මනින් ම කරන්න ඕනේ. මේ ප්‍රශ්නයන මතුවුණ වෙලාවේ ම ඒක කරගන්න පුළුවන්නම් හොඳයි,” ඔහු පැවසුවේ ය.