ඉන්දු – පකිස්තාන න්‍යෂ්ටික ගැටුමක් හරහා දකුණු ආසියාවටම තර්ජනයක් එල්ලවේවි!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දියාවේ ප්‍රහාරය තම පැවැත්මට බලපාන බැවින් පකිස්ථානය ඉන්දියාවට එරෙහිව කුඩා ප්‍රමාණයේ න්‍යෂ්ටික අවි භාවිත කිරීමට පෙලඹෙනු ඇති බව ත් එමගින් දකුණු ආසියානු කලාපයට ම විනාශකාරී ඵල විපාක සිදුවෙනු ඇති බව ත් ආචාර්ය දයාන් ජයතිලක පැවසීය.

එසේ න්‍යෂ්ටික අවි භාවිත කිරීමක් වුවහොත් සුළඟෙන් එන විස වායු ලංකාවේ පළාත්වලටත් පැමිණීමට ඉඩකඩ ඇති බව ආචාර්යවරයා කීය.

එම නිසා ඉන්දු පකිස්ථාන යුද්ධය හේතුවෙන් මෙම කලාපයේ ඉතාමත් භයානක දෙයක් සිදුවෙමින් පවතින බව ඔහු කීවේය.

සමස්ත කලාපය සම්බන්ධවත් අසල්වැසි හැම රටට ම බලපාන ආකාරයේ මහා ඛේදවාචකයක් ඇතිවීමට ඉඩකඩ පවතින බව ආචාර්යවරයා සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ, මෙහිදී ශ්‍රී ලංකාවේ ආණ්ඩුව කට වැසීමට අවශ්‍ය තැන්වල කට අරින බවත් ජත්‍යන්තරය ප්‍රශ්න සම්බන්ධව කට ඇරීමට අවශ්‍ය තැන්වල කට වහන බව ය.

ජනාධිපති අනුර කුමාර දිසානායක පහල්ගම් ත්‍රස්තවාදී ප්‍රහාරට පසුව ඉන්දියාව පකිස්ථානයට ජලය කප්පාදු කිරීමටත් පසුව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමග දුරකතනයෙන් කතාකර ඇති බව ත් එහිදී ශ්‍රී ලංකා ජනතාව ඉන්දියාව සමග සිටින බව පවසා ඇති බව ත් කීය.

කෙසේ වෙතත්, ලංකාවේ ජනාධිපති එම මැදිහත්වීම කළ යුතුව තිබුණේ ඉන්දියාව පකිස්ථානයට ජලය කප්පාදු කිරීමට පෙර බව ආචාර්යවරයා කීවේය.