මාස කිහිපයක් ඇතුළත බෝම්බයක් නිපදවීම සඳහා යුරේනියම් බලගැන්වීම නැවත ආරම්භ කිරීමට ඉරානයට හැකියාව ඇති බව එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ සංවිධානයේ ප්‍රධානියා පවසනවා.
ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ ප්‍රධානී රෆායෙල් ග්‍රෝසි පැවසුවේ පසුගිය සති අන්තයේ ඉරානයේ ස්ථාන තුනකට අමෙරිකාව එල්ල කළ ප්‍රහාරවලින් හානියක් සිදු වූ බවත් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බවට ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයට පටහැනි බවයි.
රෆායෙල් ග්‍රෝසි ඊයේ පැවති විදෙස් මාධ්‍ය හමුවකදී පවසා සිටියේ ඉරානය තවමත් කාර්මික හා තාක්ෂණික හැකියාවන් ඇති බවත් එබැවින් ඔවුන්ට නැවත මෙය ආරම්භ කිරීමට හැකියාව පවතින බවයි.
අමෙරිකානු බුද්ධි අංශ වාර්තාවලින් හෙළි වූයේ අමෙරිකානු ප්‍රහාර හේතුවෙන් න්‍යෂ්ඨික වැඩසටහන් මාස ගණනකින් පසුබෑමට ලක් කළ බවයි.
බුද්ධි අංශ වාර්තාවලට අනුව සිදු වූ හානිය වෙනස් මට්ටමක පවතින බවත් තවත් තොරතුරු ඇතුළත් වීමට ඉඩ තිබෙන බවත් ඔහු පවසා තිබෙනවා.

ඉරාන ජාතිකයන් තම සංවිධානය සමඟ වැඩ කිරීම ප්‍රතික්ෂේප කළද, ටෙහෙරානය සමඟ තවමත් සාකච්ඡා කළ හැකි යැයි තමන් බලාපොරොත්තු වන බවයි ග්‍රෝසි වැඩි දුරටත් පවසා ඇත්තේ.
මේ අතර ධවල මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියේ ඉරානයට යුරේනියම් සැලකිය යුතු මට්ටමකට සුපෝෂණය කළ හැකි බවට බුද්ධි අංශ නිගමනය කළහොත් තමන් කිසිදු සැකයකින් තොර ඉරානයට නැවත පහර දෙන බවයි.
මේ අතර ඉරාන සන්නද්ධ හමුදා ප්‍රධානී අබ්දුල්රහිම් මවුසාවි කියා සිටියේ ඊශ්‍රායලය සටන් විරාමයට අනුකූල වනු ඇතැයි ටෙහෙරානයට ඒත්තු ගොස් නොමැති බවයි.
තවද ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි පසුගිය අඟහරුවාදා සටන් විරාමයෙන් පසු පළමු දේශනය පවත්වමින් පැවසුවේ ප්‍රහාරවලින් සැලකිය යුතු කිසිවත් අත්කර ගැනීමට අමෙරිකාවට නොහැකි වූ බවත් ඉරානය අවධාරනය කරන්නේ තම න්‍යෂ්ටික වැඩසටහන සාමකාමී බවත්, සිවිල් භාවිතය සඳහා පමණක් බවයි
ඉරානය න්‍යෂ්ටික අවියක් තැනීමට ආසන්න බව පවසමින් ඊශ්‍රායලය ජුනි 13 වන දින ඉරානයේ න්‍යෂ්ටික සහ හමුදා ස්ථාන වලට පහර දෙනු ලැබුවා .
පසුව එක්සත් ජනපදය ප්‍රහාරවලට සම්බන්ධ වූ අතර ඉරානයේ ෆෝඩෝ, නටාන්ස් සහ ඉස්ෆහාන් න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට බංකර් බස්ටර් බෝම්බ ප්‍රහාරයක් එල්ල කළේය.