ඩොක්යාර්ඩ් ආයතනය ඉන්දියානු සමාගමකට !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කිසිදු රටක් සමග සිය ආණ්ඩුවට සමීප මිතුරුකමක් නොමැති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසයි.

ආණ්ඩුවක් ලෙස විවිධ ක්‍රියා මාර්ග ගැනීමට සහ ගිවිසුම්ගතවීමට සිදුවන බව ද හෙතෙම ප්‍රකාශ කරයි.

එහෙත් ඒ කිසිවක් මේ රටේ ජනතාවට අවාසි වන ආකාරයට සිදු නොකරන අතර සාකච්ඡා කොට විනිවිදභාවයෙන් යුතුව සිදුකරන බව එරංග ගුණසේකර අවධාරණය කරයි.

කොළඹ ඩොක් යාර්ඩ් ආයතනය ඉන්දියානු රජයට අනුබද්ධිත සමාගමක් වෙත බදු ලබා දීම පිළිබඳ කොළඹ දී මාධ්‍ය විමසූ විට ඊට පිළිතුරු ලබා දෙමින් නි. ඇමතිවරයා මේ බව කීය.

කොළඹ ඩොක්යාර්ඩ් පීඑල්සී (CDPLC) හි බහුතර කොටස් අත්පත් කර ගැනීමට ඉන්දියාවේ පොදු අංශයේ සමාගමක් වන Mazagon Dock Shipbuilders (MDL) තීරණය කර ඇති බව නිවේදනය කර තිබේ.

මෙය ප්‍රධාන උපායමාර්ගික පියවරක් ලෙස සැලකේ. සමාගම කොටස් හුවමාරු ගොනු කිරීමක් මඟින් ප්‍රකාශ කළේ, “කොළඹ ඩොක්යාර්ඩ් පීඑල්සී හි පාලන සහ සැලකිය යුතු කොටස් අත්පත් කර ගැනීම සඳහා ඩොලර් මිලියන 52.96 නොඉක්මවන ආයෝජනයක් අනුමත කර ඇති” බවයි.

MDL, කොළඹ ඩොක්යාර්ඩ් සහ ජපානයේ Onomichi Dockyard අතර ඊයේ (ජූනි 27) ත්‍රි-පාර්ශ්වික ගිවිසුමක් අත්සන් කෙරුණා. ඒ අනුව MDL විසින් ජපාන සමාගමේ කොළඹ ඩොක්යාර්ඩ් හි පාලන කොටස් අත්පත් කර ගනු ඇත.

මුම්බායි මූලස්ථානය කරගත් Mazagon Dock Shipbuilders යනු ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින පොදු අංශයේ නැව් අංගනයක් වන අතර එය යුධ නැව්, සබ්මැරීන් සහ වාණිජ නෞකා ඉදිකිරීමේ කටයුත්තේ නිරත වේ.