“කාඩ් පේමන්ට්ද? එහෙනම් තව සියයට 2.5%ක් ඇඩ් වෙනවා.” ඩෙබිට් හෝ ක්‍රෙඩිඩ් කාඩ්පත් වලින් ගනුදෙනු කිරීමේ ඇතැම් වෙළෙඳ සැල් හිමියන් මෙලෙස ඔබට බොහෝ විට පවසා තිබිය හැකිය.
බොහෝවිට ඩෙබිට් හෝ ක්‍රෙඩිඩ් කාඩ්පත් උපයෝගී කරගනිමින් වෙළෙඳසැල් වලින් ඔබට සහල් මිලදී ගැනීමේදී ද මෙම තත්ත්වයට වැඩි වශයෙන් මුහුණ දී තිබිය හැකිය.
පවතින කාර්ය බහුල තත්ත්වය හෝ මුදල් ගෙන ඒමට ATM යන්ත්‍රයක් වෙත දුර ගෙවා යාමට සිදුව බැවින් පාරිභෝගිකියන් ලෙස ඇතැම් විට අමතර සියයට 2.5%ක් ගෙවා හෝ ගනුදෙනුව සම්පූර්ණ කිරීමට බොහෝ දෙනෙකු පෙළඹේ.
එහෙත් පාරිභෝගිකයින්ගෙන් විකුණුම් මිලට අමතරව සියයට 2.5%ක හෝ සියයට 3%ක ගාස්තුවක් අය කිරීමට වෙළෙඳසැල් හිමියන්ට නීත්‍යානුකූල අයිතියක් තිබේ ද? මේ සම්බන්ධයෙන් අප සොයා බැලීමක් කළේය.
අප කළ විමසීමක දී ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් හා පියවීම් අධ්‍යක්ෂ වසන්ත අල්විස් පැවසුවේ, කාඩ් පත් මගින් ගෙවීම් කිරීමේදී වෙළෙඳ අයතනය වලට එලෙස ගාස්තුවක් අය කළ නොහැකි බවය.

ශ්‍රී ලංකාවේ දිනකට ඩිජිටල් ගනුදෙනු මිලියන 1.6ක්.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව මෙරට දිනකට සිදුවන ඩිජිටල් ගනුදෙනු සංඛ්‍යාව මිලියන 1.6කි. ඉන් ගනුදෙනු ලක්ෂ 8ක් සිදුවන්නේ ක්‍රෙඩිට් කාඩ් හා ඩෙබිට් පත් මගිනි. තවත් ගනුදෙනු ලක්ෂ 6ක් ඔන්ලයින් ගනුදෙනු ලෙස සිදුවෙයි.
ඇතැම් වෙළෙඳසැල් තම ලාභය අඩුවීම වළක්වා ගැනීම සඳහා මෙලෙස පාරිභෝගිකයින්ගෙන් ගාස්තුවක් අයකරන බව බීබීසී සිංහල මේ පිළිබඳ කළ සොයා බැලීමකදී අනාවරණය විය.එහිදී තමන්ට සිදුවන පාඩුව වළක්වා ගැනීම සඳහා අදාළ ආයතන එම මුදල පාරිභෝගිකයා මත පැටවීමට කටයුතු කරයි.
ජූලි 23 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් හා පියවීම් අධ්‍යක්ෂ වසන්ත අල්විස්ගෙන් බීබීසී සිංහල මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඩිජිටල් ගෙවීම් පද්ධතිය දිගු දුර විහිදී යාම අතින් යම් දුර්වලතාවක් පැවතිය ද ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවීම් පද්ධතිය ඉතා හොඳින් ක්‍රියාත්ම වන බවය.
ඔහු පැවසුවේ, මෙම අමතර ගාස්තු අය කිරීම සෑම වෙළෙඳ අයතනකදී ම සිදු නොවන බවයි.
කාඩ්පත් මගින් ගෙවීම් කිරීමේ යන්ත්‍ර ලබා ගැනීමේදී අදාළ වෙළෙඳ ආයතනය සහ බැංකුව අතර ගිවිසුමක් ඇති බව බව ද ඔහු පෙන්වා දුන්නේය.
“එම ගිවිසුමේ ඉතාම පැහැදිලිව කියලා තියෙනවා. වැඩිපුර කිසිම මුදලක් ඒ ආයතනලට ලබා ගත නොහැකි බව. ඔබගෙන් කවුරු හරි වැඩිපුර මුදලක් ලබා ගන්නවා නම් වහා ම ඔබගේ කාඩ්පත නිකුත් කරපු බැංකුවට ඔබ පැමිණිල්ලක් කරන්න.” ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් හා පියවීම් අධ්‍යක්ෂ වසන්ත අල්විස් සඳහන් කළේය.
“ඒ වගේ වෙලාවක යම් කිසි රිසිට් පතක් ලබා ගන්න අවශ්‍යයි ඔබගෙන් වැඩිපුර ගාණක් ගත්තා කියලා තහවුරු කරන්න.එවිට බැංකු දෙක කතා කරලා ඔබගේ වැඩිපුරා ලබා ගත් මුදල නැවත අය කර ගන්න පුළුවන්”
ඔහු කියා සිටියේ අදාළ බැංකු ගාස්තුව සටහන් කර ගනිමින් රිසිට් පතක් ලබා ගැනීම ඉතා වැදගත් බව යි.
එවිට අදාළ ගාස්තුව යළි අය කර ගත හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.’GovPay’ ක්‍රියාත්මකයි
වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේ ඩිජිටල් ගෙවීම්කරණ පද්ධතියක් කඩිනමින් හඳුන්වා දීමේ අභිලාෂයෙනි. ඒ අනුව රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ පියවරක් ලෙස ‘GovPay’ නමින් හැඳින්වෙන ගෙවීම් පහසුකම (පෙබ: 7) ආරම්භ කෙරුණි.
‘ආරක්ෂිත සහ කාර්යක්ෂම ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ බාධාවකින් තොරව ගනුදෙනු කිරීමට හැකි වන පරිදි, රජයේ ආයතන හරහා සිදුකෙරෙන ගනුදෙනු විධිමත් කිරීම හා නවීකරණය කිරීම’ එහි අරමුණ විය.
කෙසේ නමුත් ගනුදෙනු සඳහා ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ් පත් පිළිගැනීමට අකමැති ආයතන බොහොමයක් තවමත් දක්නට ලැබේ.
කාඩ්පත් ගෙවීම් ප්‍රතික්ෂේප කරන ආයතන.
ස්වර්ණාභරණ මිලදී ගැනීම සඳහා මෙරට ප්‍රමඛ පෙළේ ස්වර්ණාභරණ අලෙවි හලකට ගිය නිමාලි පෙරේරා තමන් මුහුණ දුන් අත්දැකීම බීබීසී සිංහල වෙත මෙලෙස විස්තර කළාය.
“මම රත්‍රං බඩුවක් ගන්න ගිහා ම, එතකොට ඒ ගොල්ලෝ ඇහුවා කෑෂ් ද කාඩ් ද ගෙවන්නෙ කියලා. මම යද්දි එතනට කෑෂ් අරන් ගියේ නැහැ. ඊට පස්සේ එයාලා කිව්වා 3%ක් ඇඩ් කරනවා කියලා. පස්සේ මම කිව්වා ඒගෝලන්නට ගාන අඩු කරන්න කියලා.”
“පස්සේ ඒ ගොල්ලෝ ගාන අඩු කරලා කිව්වා ඒක තමා ඩිස්කවුන්ට් එක කියලා. පස්සේ ඒගොල්ලෝ ඩිස්කවුන්ට් එක විදිහට තමා 3%ට අඩු කළේ.”
ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ් පත් පිළිගැනීමට
ඡායාරූප ශීර්ෂ වැකිය,වාහන දුම් පරීක්ෂණ ස්ථානවල ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ් පත් පිළිගැනීම ප්‍රතික්ෂේප කරයි
පසුගිය දිනෙක පිළියන්දල ප්‍රදේශයේ වාහන දුම්පරීක්ෂා කරන ස්ථානයක සේවා ලබා ගැනීමට ගිය අවස්ථාවක ලියුම්කරු වන මට ද එවන් අත්දැකීමට මුහුණ දීමට සිදු වූ අතර කාඩ් පත් මගින් ගෙවීම් කිරීමේ අරමුණින් එම ස්ථානයට ගිය මට කාඩ්පත් මගින් ගෙවීම් කළ නොහැකි බව අදාළ ස්ථානයේ මුදල් අයකැමි විසින් දැනුම් දුණි.
ගෙවීම සඳහා ප්‍රමාණවත් මුදල් අතේ නොතිබූ බැවින් මට ආපසු හැරීයාමට සිදු වු අතර පසුව ATM යන්ත්‍රයක් වෙත ගොස් මුදල් රැගෙන විත් අදාළ ස්ථානයට ගෙවීම් කිරීමට සිදුවිය.