ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත කෙරේ

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් (HR) ප්‍රවර්ධනය කිරීම පිළිබඳ A/HRC/60/L.1/Rev.1 යෝජනාව ජිනීවාහි එක්සත් ජාතීන්ගේ (UN) මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත කර ගෙන ඇත.

නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පැවසුවේ, 2022 ඔක්තෝබර් 6 වන දින එහි 51/1 යෝජනාවෙන් මානව හිමිකම් කවුන්සිලය ඉල්ලා සිටින සියලුම කටයුතු සහ මහකොමසාරිස් කාර්යාලයේ වරම දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ කාර්යාලය එහි හැට තුන්වන සැසිවාරයේදී ලිඛිත යාවත්කාලීන කිරීමක් සහ එහි හැට හයවන සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම්වල ප්‍රගතිය පිළිබඳ පුළුල් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ඇති බවත්, එය අන්තර්ක්‍රියාකාරී සංවාදයකදී සාකච්ඡා කළ යුතු බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

යාවත්කාලීන කරන ලද කෙටුම්පත ඔක්තෝබර් 1 වැනි දින ජිනීවාහිදී සභාගත කරන ලද අතර, කවුන්සිලයේ 60 වන සැසිවාරයේදී ඡන්ද විමසීමකින් තොරව යෝජනාව සම්මත කර තිබේ.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ (OHCHR) වරම තවත් වසර දෙකකට දීර්ඝ කරමින්, සංශෝධිත එක්සත් ජාතීන්ගේ යෝජනාවට සම අනුග්‍රාහකයන් ලෙස රටවල් විසිදෙකක් අත්සන් තැබීය.