ඔබටත් හොරා ඔබේ නෙත් සොරාගන්නා – “ග්ලූකෝමා”

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඔබට ඔබගේ ඇස්වල පෙනීම කෙතරම් වැදගත් ද? නමුත්, ඔබටත් නොදැනී ම ඔබගේ පෙනීම ටිකෙන් ටික අඩුවී ඔබ සදාකාලික අන්ධභාවයට පවා පත්විය හැකි තරමේ අවදානමක් ඔබටත් තිබිය හැකි බව ඔබ දන්නවා ද? ග්ලූකෝමා ලෙස හැඳින්වෙන මෙම රෝගය විවිධ හේතු නිසා ඇතිවීමට හැකි අතර, ඇතැම් රෝගීන් හට රෝගය වැළඳීමට අදාළ හේතුව පවා සොයා ගැනීමට අපහසු තත්ත්වයක් පවතියි.

ග්ලූකෝමා රෝගය වැළඳෙන රෝගීන් ඒ බව බොහොවිට සොයාගනු ලබන්නේ අහම්බෙන් ය.

නමුත් නිරන්තරයෙන් සිය අක්ෂි සෞඛ්‍ය සම්බන්ධයෙන් අවධානයෙන් සිටීමෙන් මේ රෝගය පහසුවෙන් හඳුනාගත හැකි ය.

මෙම රෝගය සම්බන්ධයෙන් අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය චායා සමරසිංහගෙන් අප විමසීමක් කළ අතර, විශේෂඥ වෛද්‍යවරිය පැවසුවේ ඕනෑ ම වයස් කාණ්ඩයක කෙනෙකුට මෙම රෝගය ඇතිවීමට අවදානමක් පවතින බව ය.

මේ ග්ලූකෝමා රෝගය සම්බන්ධයෙන් ඔබට ඇතිවිය හැකි ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ය.

01. ග්ලූකෝමා රෝගය කියන්නේ මොකක් ද?

මෙම රෝගයේදී මූලික වශයෙන් ම සිදුවන්නේ අක්ෂි ස්නායුව විනාශ වීම බව අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය චායා සමරසිංහ පැවසුවා ය.

ඇය පෙන්වා දෙන්නේ ඇතැම් රෝගීන්ගේ ඇසේ පීඩනය ඉහළ මට්ටමක පවතින බව ය.

මෙලෙස ක්‍රම ක්‍රමයෙන් අක්ෂි ස්නායුව විනාශ වීමත් සමග ඇසේ පෙනීම ද ක්‍රම ක්‍රමයෙන් නැතිවී යන බව ඇය පවසයි.

“ග්ලූකෝමා කියන්නේ ඇහේ අක්ෂි ස්නායුවේ ඇතිවන අබාධයක්. ඒ අබාධයේදී අක්ෂි ස්නායුව ක්‍රම ක්‍රමයෙන් විනාශ වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඇතැම් ග්ලූකෝමා රෝගීන්ගේ ඇහේ පීඩනය වැඩියි. නමුත් සමහර අයගේ සාමාන්‍ය පීඩනයක් තියෙද්දිත් ග්ලූකෝමා හැදෙන්න පුළුවන්,” විශේෂඥ වෛද්‍යවරිය පැවසුවා ය.

නමුත් ක්‍රමයෙන් අහිමි වී යන පෙනීම නැවත ලබා ගැනීමට නොහැකි වීම මෙම රෝගයේ ඇති භයානක ම පැතිකඩකි.

“මේකේ ප්‍රශ්නය තමයි ඇහේ ස්නායුව විනාශ වීම අපට ආපස්සට හරවන්න බෑ. යථා තත්ත්වයට හරවන්න බෑ. ඒක තමයි මේ ලෙඩේ තියෙන ප්‍රධාන ප්‍රශ්නය. මේ රෝගයෙන් නැති වෙන පෙනීම ආපහු ගන්න බැරි එකක්,” වෛද්‍යවරිය පැහැදිලි කළා ය.

මේ නිසා ඖෂධය මගින් රෝගය හඳුනාගෙන පාලනය කිරීමක් පමණක් සිදු කරන බව ඇය පැවසුවා ය.

“ඒ හින්දා අපි කරන්නේ ලෙඩේ අඳුරගෙන පාලනය කරන එක. පාලනය කරලා රෝගියාගේ පෙනීම පවත්වාගෙන යන්න තමයි උත්සහ කරන්නේ.”

02. ඔබේ පෙනීම නැතිවෙන්නේ කොහොම ද?

මෙම රෝගයේදී සිදුවන්නේ ඔබගේ පෙනීමේ පරාසය අඩු වීමයි. ඔබගේ ඇසේ වම් පසින් සහ දකුණු පසින් ඔබට පෙනෙන පරාසය මෙහිදී අඩු වේ.

නමුත් මෙම තත්ත්වය රෝගියා නොදැනුවත්වම ක්‍රම ක්‍රමයෙන් සිදුවන්නකි.

“මේ රෝගයේදී සිදුවන්නේ ඇහේ ස්නායුව ටිකෙන් ටික හානි වීම. ස්නායුව හානි වෙද්දී මුල් අවස්ථාවේදී පෙනීම අඩුවෙලා කියලා රෝගීන්ට දැනෙන්නේ නෑ. එතකොට තමයි අපි රෝගියාට ප්‍රතිකාර කරන්න පටන් ගන්නේ,” අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය චායා පවසයි.

“මේකෙදි වෙන්නේ අපට ඇහේ පෙනෙන පරාසය අඩු වීම. ටික ටික වටපිටාව පෙනෙන එක අඩු වෙනවා. අවසානයේදී ඒක එන්න එන්න අඩු වෙලා බටයක් ඇතුළෙන්, නැත්නම් බිං ගෙයක් ඇතුලෙන් බලනවා වගේ ඉදිරිය පැහැදිලිව පේනවා, නමුත් වටපිටාව අන්ධකාරයි. වටපිටාව පෙනෙන්නේ නැතුව යනවා.”

එවැනි අවස්ථාවකදී එම රෝගී තත්ත්වය පාලනය කරගැනීමට නොහැකි වුවහොත් රෝගියා අන්ධභාවයට පත්වීමේ අවදානම පවතියි.

“ඒ අවස්ථාවේදී අපට රෝගය පාලනය කරගන්න බැරි වුණොත් හරි, ප්‍රතිකාර කරගන්න බැරි වුණොත් හරි ,ඉතිරි පෙනීමත් නැතිවෙලා සදාකාලික අන්ධ භාවයකට යන්න පුළුවන්. පෙනීම නැතිවෙනවා කියලා දැනෙන්නේ නැති එක තමයි මෙතන ප්‍රශ්නේ,” වෛද්‍යවරිය පවසයි.

03. අවදානමක් ඇත්තේ කුමන පුද්ගලයන්ට ද?

ග්ලූකෝමා රෝගය ඇතිවීමට ප්‍රධාන වශයෙන් බලපාන හේතු දෙකක් වන්නේ දියවැඩියාව ඇතිවීම සහ පවුලේ සමීප ලේ ඥාතීන්ට එම රෝගය තිබීම ය.

“ග්ලූකෝමා හැදීමේ අවදානම ඕනේ කෙනෙක්ට තියෙන්න පුළුවන්. නමුත් සමහර අය ඉන්නවා අවදානම ටිකක් වැඩි පුද්ගලයෝ. දියවැඩියාව වගේ රෝග තත්ත්ව තියෙන අය, තමන්ගේ ලේ ඥාතීන්ට ග්ලූකෝමා තත්ත්වයන් තියෙනවා නම් ඒ අයට මේ රෝගය හැදෙන්න ලොකු අවදානමක් තියෙනවා. මේ රෝගයේ ජානමය පැත්තක් තියෙනවා,” වෛද්‍යවරිය පැවසුවා ය.

එමෙන් ම ඉරුවාරාදය ඇති රෝගීන්ට ද මෙම රෝගය ඇතිවීමේ අවදානමක් පවතින බව ඇය පැවසුවා ය.

“ඇතැම් බෙහෙත් නිසාත් ග්ලූකෝමා අවදානම වැඩි වෙන්න පුළුවන්. ඇදුම, සමහර වකුගඩු ආබාධ, ආතරයිටීස්, ඇඟේ ම ප්‍රතිදේහ ඇඟේ ම අවයවවලට විරුද්ධව හැදෙන අසනීප තියෙන අය ගන්න ඖෂධ වර්ග තියෙනවා. ඒ ඖෂධ වර්ගත් ග්ලූකෝමා අවදානමක් ඇති කරනවා,” වෛද්‍යවරිය පවසයි.

“නමුත් අලුත උපන් බබාලට පවා ග්ලූකෝමා හැදීමේ අවදානමක් තියෙනවා.”

“ඒ වගේ ම සමහර වෙලාවට අපි දකිනවා සමේ ආලේපනවලත් මේ වගේ අවදානම් තියෙනවා. ඒ වගේ දෙවල්වලත් අවදානමක් නැත්තේ නෑ. ඒ වගේ දේවල් ගන්න කෙනෙක් ඉන්නවා නම් ඒ ගැන පරීක්ෂා කරලා බලනවා නම් හොඳයි.”

තව ද යම් අනතුරක් හේතුවෙන් ඇසට හානියක් සිදුවූ අයට ද මෙම රෝගයේ ඇතිවීමේ අවදානම පවතින බව වෛද්‍යවරිය පෙන්වා දුන්නා ය.

මේක සාමාන්‍යයෙන් ඕනෑ ම වයස් සීමාවකදී හැදෙන්න පුළුවන්. නමුත් වයස්ගත වෙද්දී අවදානම වැඩි වෙන්න පුළුවන්.”

කෙස්වෙතත් වෛද්‍යවරිය පෙන්වා දෙන්නේ මෙම රෝගයට නිශ්චිත හේතුවක් බොහෝවිට සොයා ගැනීමට නොහැකි බව ය.

“මේ වගේ ඇති වෙන්න පුළුවන් හේතු ගැන අපි රෝගීන්ගෙන් ඇහුවා ම සමහර වෙලාවට මේ වගේ කිසි ම හේතුවක් හොයාගන්නත් බැරි වෙන වෙලාවල් තියෙනවා. නමුත් රෝගය තියෙනවා.”

“වැඩි වශයෙන් දියවැඩියා රෝගීන්ගෙන් මේ තත්ත්වය වාර්තා වෙනවා. ඒ වගේ ම පවුලේ අයට මේ තත්ත්වය තියෙන එකත් එක්ක හම්බෙන අය ඉන්නවා, නමුත් බහුතරයකගේ හේතුවක් හොයාගන්න අමාරුයි.”

04. රෝගය හඳුනා ගන්නේ කෙසේ ද?

ග්ලූකෝමා රෝගය යම් පුද්ගලයෙකුට ඇති බවට හඳුනාගැනීම අපහසු බව විශේෂඥ මතයයි.

එය බොහෝවිට රෝගය ඇති පුද්ගලයාට නොදැනේ.

ඒ වෙනුවට වෙනත් හේතුවක් මත අක්ෂි පරීක්ෂා සඳහා පැමිණෙන රෝගීන්ගේ අක්ෂි පරීක්ෂා කිරීම තුළින් ඔවුන් හට මෙම රෝගය වැළඳී ඇති දැයි හඳුනා ගන්නා බව විශේෂඥ වෛද්‍ය චායා පවසයි.

‘ග්ලූකෝමා කියන්නේ අපට පැහැදිලි රෝග ලක්ෂණ පෙන්වන රෝගයක් නෙවෙයි. අපි ඒ නිසා කියන්නේ මේ රෝගය පෙනීම නිහඬව සොරාගන්නා රෝගයක් විදිහට. ඒ කියන්නේ අපි නොදැනුවත්ව ම ඇවිල්ලා අපේ පෙනීම අරගෙන යන රෝගයක්. රෝග ලක්ෂණ මතුවෙන්නේ අහම්බෙන්,” ඇය පැහැදිලි කළා ය.

“සමහර අය ඉන්නවා, ඒ අයගේ ඇහේ පීඩනය හොඳට ම වැඩි වෙලා ලොකු වේදනාවක් දැනෙන්න පටන් ගන්නවා. ඒත් සමග ම වමනය ගිහිල්ලා, පෙනීම එකපාර බොඳවෙලා එන පිරිසක් ඉන්නවා. එහෙම අය අඩුයි.”

“ගොඩක් වෙලාවට ඇස් රතුවෙලා හෝ කණ්ණාඩි දෙකක් ගන්න වගේ අපි ළඟට ආව ම අපි පුරුද්දට වගේ චෙක් කරලා බලනවා. එහෙම චෙක් කරලා බලනකොට තමයි අපි ගොඩක් වෙලාවට මේ වගේ රෝගීන් හඳුනාගන්නේ.”

“රෝග ලක්ෂණ කියන ඒවා ගොඩක් වෙලාවට අඩුයි,” වෛද්‍යවරිය පවසයි.

මෙහිදී බීබීසී සිංහල විමසා සිටියේ මෙම රෝගය සම්බන්ධයෙන් පරීක්ෂා කළ යුතු ආකාරය ය.

“ඇස් පරීක්ෂා කරන්න පුහුණුව ලබපු වෛද්‍යවරයෙකු හෝ අක්ෂි තාක්ෂණවේදියෙකු ළඟට ගියත් ඇහේ පීඩනය පරීක්ෂා කරලා බලන්න පුළුවන්. අක්ෂි විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත ගියා ම ඇහේ ස්නායුව පරීක්ෂා කරලා බලනවා,” වෛද්‍යවරිය පවසයි.

එසේ ම, ඕනෑ ම අයෙකුට තමාට ආසන්නතම රෝහලේ අක්ෂි සායනයට සම්බන්ධ වීමෙන් සිය අක්ෂි පරීක්ෂාවක් සිදු කර බැලිය හැකි ය.

“සමහර රෝගීන් පරීක්ෂා කළාට රෝගියාට හරියට ලෙඩේ තියෙනවා ද කියලා කියන්න අමාරුයි. ඒ වගේ වෙලාවල්වලදී විවිධ පරීක්ෂණ තියෙනවා ඒ සම්බන්ධයෙන් කරන්න. එතකොට ඒ අවස්ථාවලදී අපි රෝගියාව පරීක්ෂණ සඳහා යොමු කරනවා. ඒ රිපෝර්ට් අනුව තමයි සමහර වෙලාවට රෝගය තියෙනවා කියලා අපි තීරණය කරන්නේ,” විශේෂඥ වෛද්‍ය චායා පැවසුවා ය.

05. රෝගය නිට්ටාවට ම සුව කිරීමට හැකි ද?

ග්ලූකෝමා රෝගය නිට්ටාවට ම සුව කිරීමට නොහැකි රෝගයක් වන අතර, ඖෂධ මගින් පාලනය කිරීම පමණක් සිදු කළ හැකි ය.

එම රෝගය ඔබට ඇති බවට හඳුනාගතහොත් ඔබට ජීවිත කාලය පුරාවට ම එම රෝගය පාලනය කිරීම සඳහා ඖෂධ ලබා ගැනීමට සිදුවනු ඇත.

“මේ රෝගය කල්පවතින රෝගයක්. එක හරියට අපිව අධි රුධිර පීඩනය, දියවැඩියාව හැදුණා වගේ තමයි. ඒ රෝගවලට දිනපතා බෙහෙත් බොනවා වගේ මේ රෝගයත් අපට බෙහෙත්වලින් පාලනය කරන්න පුළුවන්. බෙහෙත් කියලා තියෙන්නේ ඇහැට දාන බිංදු බෙහෙත්. ඇහේ පීඩනය වැඩි තත්ත්වයක තිබුණත්, සාමාන්‍ය තත්ත්වයක තිබුණත් අර බෙහෙත්වලින් ඒ තියෙන ප්‍රෙෂර් එක අඩු කරන එක තමයි තියෙන්නේ,” වෛද්‍යවරිය පැහැදිලි කළා ය.

“අපි අනෙකුත් ලෙඩවලට සායනයට යනවා වගේ තමයි මේ රෝගයත් සැරින් සැරේ ගිහිල්ලා පරික්ෂා කරලා බලන්න ඕනේ. දාන බෙහෙත්වලට ඇහේ පීඩනය අඩු වෙලා ද කියලා පරීක්ෂා කරලා බලන්න ඕනේ. ඒ පාලනය ප්‍රමාණවත් ද කියලා බලන්න ඕනේ. ඒ විදිහට පිළිවෙලට සායනවලට සම්බන්ධ වෙලා පාලනය කරගැනීම තමයි කරගන්න තියෙන්නේ,” ඇය වැඩිදුරටත් පැවසුවා ය.

“ආරම්භයේදී ඇහේ පීඩනය ගොඩක් ම වැඩි නම් හෝ බෙහෙත්වලින් කරන්න පුළුවන් පාලනය මදි නම් ශල්‍යකර්මවලටත් යන්න සිදු වෙනවා. ඊට අමතරව ලේසර් ප්‍රතිකාර ක්‍රමත් තියෙනවා. මේ රෝගය සම්පූර්ණයෙන් ම සුව කරන්න බෑ, පාලනය කිරීමක් විතරයි කරන්න පුළුවන්.”

කෙසේවෙතත් වර්තමානයේ මෙම රෝගය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු දැනුවත්වී සිටීම වර්තමානයේ පවතින විශේෂ ප්‍රවණතාවයක් බව ද ඇය පැවසුවා ය.