මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල වංචනිකයන් අත්පත්කරගැනීම ගැන මාධ්‍ය වෙත අදහස් දක්වමින් සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යාලංකාර මහතා විශේෂ පැහැදිලි කිරීමක් කර ඇත .
එහිදී ඔහු කියා සිටියේ, මේ වන විට පොදු අවකාශයේ සිදුව ඇති ප්‍රකාශ සමග සැසඳීමේදී මෙය යම් නිලධාරියෙකුගේ ඊමේල් ගිණුම ඉලක්ක කරමින් සිදුවූ හැකර් ප්‍රහාරයක් බවට සැක කළ හැකි බව ය.
“දැනට අපිට කතා කරන්නෙ පොදු අවකාශයේ තියෙන තොරතුරුත් එක්ක. ආයතනය ඇතුළේ මීට වඩා තොරතුරු තියෙනවා වෙන්න පුළුවන්. මට තේරෙන විදිහට බැලූ බැල්මට පේන්නේ, සෝෂල් ඉන්ජීනියරීන් ඇටෑක් එකක් පිෂීන් ඇටෑක් එකක් වගේ දෙයක් තමයි මට නම් තේරෙන්නේ.
“ඇත්තට ම ඕකට කියන ටෙක්නිකල් ටර්ම් එක තමයි බිස්නස් ඊමේල් කොම්ප්‍රමයිස් කියලා. මට හිතෙන විදිහට මෙතැන ඉන්න එක නිලධාරියෙක් ටාර්ගට් කරලා සිද්ධ වෙච්ච දෙයක්. උදාහරණයක් විදිහට අපි හිතමු ඇත්ත ඊමේල් එකට සමාන විදිහට ඊමේල් එකක් එවලා අකවුන්ට් නම්බර් එක වෙනස් කරලා ඒකට මුදල් දාන්න කියනවා වාගේ දෙයක් තමයි මෙතැනදී වෙන්නේ. මේ වගේ සිදුවීම් ලංකාවේ සාමාන්‍යයෙන් පෞද්ගලික අංශයේ සිදුවනවා අපි දැකලා තියෙනවා.
“නමුත් අපිට බැලු බැල්මට පේන්නේ මේ ප්‍රොසෙස් එකේ යම් බිඳ වැටීමක් වෙලා තියෙනවා. මුදල් අමාත්‍යාංශය වගේ තැනක එක වෙරිෆිකේෂන් එකකට අමතරව වෙරිෆිකේෂන් කිහිපයක් වෙන්න ඕන. එහෙම දෙයක් වෙලා නැත්තේ ඇයි කියන එක ගැන ගැටලුවක් තියෙනවා,” ඔහු පැවසීය.
විමර්ශනය සිද්ධ වෙන ආකාරය සම්බන්ධයෙන් තොරතුරු ජනතාවට දැනුවත් කිරීම රජය සහ මුදල් අමාත්‍යාංශය සිදුකළ යුතු බව ද ඔහු සඳහන් කළේ ය.
“මේ සයිබර් අපරාධය කරපු කණ්ඩායම කවුද කියන එක ගැටලුවක්. සාමාන්‍යයෙන් ඒ වගේ දෙයක් කළා ම ඒ කරපු කණ්ඩායම ගැන යම් තොරතුරක් හොයා ගන්න පුළුවන්. ඒ වගේ ම මේක සිදධ වුණේ කොහොම ද කියන එකත් බලන්න වෙනවා. ඒ වගේ ම මේ සල්ලි පිටට ගිහින් තියෙන නිසා නැවත ඒවා අය කර ගන්න ජාත්‍යන්තර ආයතන එක්ක එකතු වෙලා කටයුතු කරනවා ද කියන එක වගේ ම ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියන ආයතන දෙකට අමතරව ඩිජිටල් වෝහාරික ආයතනයක් එක්ක සම්බන්ධ වෙලා විමර්ශන සිද්ධ කරනව ද, ඉන්ටර්පෝල් එක මේ විමර්ශනයට සම්බන්ධ කරගෙන තියෙනවා ද කියන කරුණු ජනතාවට දැනුම් දීම වැදගත් වෙනවා.”
මේ අතර ඉකුත් සතියේදී X සමාජ මාධ්‍ය වේදිකාවේ ක්‍රියාත්මක Dark Web Intelligence ගිණුම ඔස්සේ මෙරට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ තොරතුරු ඇමෙරිකානු ඩොලර් 200කට අලෙවි කිරීමට ඇති බව පළකර තිබෙන අයුරු දක්නට ලැබිණි.
එවැනි ආකාරයේ රාජ්‍ය ආයතනවල සංවේදී තොරතුරු හැකර්කරුවන් අතට පත්වීම සම්බන්ධයෙන් සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්යාලංකාරගෙන් විමසීමක් කළ අතර ඔහු එයට ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.
“සමහරු කියනවා හැකිං ෆෝරම්ස්වල මේ අයගේ ඇක්සස් එහෙම තිබ්බා කියලා. එක ම ගැටලුව තමයි අපිට ඒවා හරි ද කියලා හරියට ම කියන්න බැහැ. මොක ද ඒ ගැන හරි විමර්ශනයක් කරලා නැති නිසා.
“මේ වගේ අවස්ථාවලදි තමයි දත්ත ආරක්ෂණ පනත යටතේ දත්ත ආරක්ෂණ අධිකාරිය ක්‍රියාත්මක වෙන්න ඕන. ඊට අමතරව මේ වෙනකොටත් සාකච්ජා මට්ටමේ තියෙන සයිබර් ආරක්ෂණ පනත කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න නියමිත යි කියලා ඩිජිටල් නියෝජ්‍ය ඇමතිතුමා කියලා තියෙනවා. එතකොට සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ ආයතනයක් පිහිටුවන්න නියමිත යි.
“මේ නිසයි අපි රාජ්‍ය ආයතනවල සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් විවිධ ගැටලු ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා සියලු ම රාජ්‍ය ආයතනවල සයිබර් අවකාශයේ ව්‍යුහාත්මක වෙනසක් කරන්න මේ පනත් දෙක ම සක්‍රීයව ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය වෙනවා,” ඔහු කියා සිටියේ ය.

