රාජ්‍ය ප්‍රසම්පාදනය උඩු යටිකුරු වෙයි

Picture of අසංක

අසංක

දිගු කලක් තිස්සේ රාජ්‍ය ප්‍රසම්පාදනය සඳහා බලාපොරොත්තුවෙන් සිටි ඉතා අත්‍යවශ්‍ය අංගයක් වන විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමය, රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පරිවර්තනීය වෙනසක් සිදුකරමින් විද්‍යුත් ප්‍රසම්පාදන සේවාවක් හඳුන්වාදීමට මුදල් අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

මෙමඟින් සියලු රාජ්‍ය අංශයේ ප්‍රසම්පාදන කටයුතු ඉතා කාර්යක්ෂමව සහ විනිවිද භාවයෙන් සිදුකර ගැනීමට පහසුකම් සැපයේ.

රාජ්‍ය අංශයේ සියලු භාණ්ඩ, සේවා හා වැඩ විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමය යටතේ සපයා ගැනීමට ඉවහල් වන මෙම විද්‍යුත් ප්‍රසම්පාදන සේවා වෙබ් අඩවිය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද දින මුදල් අමාත්‍යාංශයේදී දියත් කරන ලදී.

රාජ්‍ය ආයතන වලට අවශ්‍ය භාණ්ඩ, සේවා හා වැඩ ප්‍රසම්පාදනය කරගැනීමට අවශ්‍ය දැන්වීම් මෙම වෙබ් අඩවිය හරහා පළකිරීම ඉදිරියේදී අනිවාර්ය කෙරේ. එමෙන්ම, සේවා සපයන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන වලටද මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වී රාජ්‍ය ආයතන වලින් පළකරන ප්‍රසම්පාදන දැන්වීම් වලට අදාළ ප්‍රසම්පාදන ඉල්ලුමට ප්‍රතිචාර පහසුවෙන් ඉදිරිපත් කිරීමට හැකිවෙයි.

මෙමඟින් රාජ්‍ය අංශයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවය, ගුණාත්මකභාවය හා කාර්යක්ෂමතාවය වඩාත් පුළුල් වන අතර, ප්‍රසම්පාදන ක්‍රමය තුළ ඇති නොයෙක් අඩු ලුහුඬු කම් හා වංචා දුෂණ වලට ඇති ඉඩ කඩ අවම කෙරේ.

සියළුම රාජ්‍ය ආයතන, මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව යටතේ පවත්නා මෙම වෙබ් අඩවියට පිවිසීම තුළින් විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමය භාවිත කළ හැකි වන අතර ඊට පිවිසීමට අවශ්‍ය ලියාපදිංචිය හා මුර පදයක් ලබාගත යුතුය.

රාජ්‍ය ආයතන වලට භාණ්ඩ, සේවා සහ වැඩ සැපයීමට බලාපොරොත්තු වන රාජ්‍ය හා පෞද්ගලික අංශයද මේ අයුරින්ම මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි විය යුතු වන අතර එමඟින් ප්‍රසම්පාදන ක්‍රියාවලිය ප්‍රමාදයකින් තොරව කාර්යක්ෂමව සිදු කළ හැකිවෙයි.

රු. බිලියන 3000 ක් පමණ වන රාජ්‍ය අයවැයේ වටිනාකමින් රු. බිලියන 750 ක මුදලක්ම (25%) වැය කරනු ලබනුයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරහාය. මෙම විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමය ක්‍රියාත්මක වීම තුළින් ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී සිදුවන්නා වූ දූෂණ හා අක්‍රමිකතා මෙන්ම ප්‍රමාදයද වැළැක්වීමට හැකිවනු ඇත.

තවද, ඉදිරියේදී ප්‍රසම්පාදනය සම්බන්ධව පුවත්පත් වල දැන්වීම් පළකිරීමේ ක්‍රමවේදයෙන් බැහැර විය හැකිය. මෙමගින් රාජ්‍ය ආයතන මෙන්ම භාණ්ඩ හා සේවා සපයන්නන්ගේද ප්‍රසම්පාදන ක්‍රියාවලි අනුගමනය කිරීමට අදාළ පිරිවැය අඩුකර ගැනීමට හැකිවනු ඇත.

එමෙන්ම දූෂණ හා අක්‍රමිකතා අවම කර, අනවශ්‍ය වියදම්ද අඩුකිරීමෙන් සමස්ත ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ වසරකට රු. බිලියන 27 ක් පමණ ඉතිරි කරගත හැකිවනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.