සහරාන්ගේ FB මිතුරකු වූ IS සාමාජිකයෙක් තමිල්නාඩුවේදී අත්අඩංගුවට – තවත් 5ක් දැලේ

Picture of අසංක

අසංක

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවේ නායකයා වූ සහරාන් හසීම්ගේ ෆේස්බුක් මිතුරකු හා අයිඑස් සංවිධානයේ කමිල්නාඩු මොඩියුලය සැකසීමේ මහමොළකරු බව කියන මොහොමඩ් අසරුදීන් නමැත්තකු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කොයිම්බතූර්හිදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු සමග අයිඑස් සංවිධානයට අනුබද්ධ බවට සැකපිට තවත් 5 දෙනකු ද අත්අඩංගුවට ගෙන ඇත.

ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය හෙවත් NIA බුද්ධි අංශය විසින් කොයිම්බතූර්හි ස්ථාන 7ක සිදුකළ විශේෂ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙරට පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ හා අයිඑස් සංවිධානයේ සාමාජිකයන් සිටින බවට ලද තොරතුරු මත අද අලුයම මෙම වැටලීම කර තිබුණි.

මොහු අයිඑස් සංවිධානයේ මතය ප්‍රචාරය කරන ෆේස්බුක් පිටුවක් පවත්වාගෙන යමින් තමිල්නාඩුව තුළ අයිඑස් සංවිධානයට තරුණයන් බදවා ගැනීමට කටයුතු කරමින් සිටින අයෙකි.

එමෙන්ම ඔහු නිරන්තරයෙන් සහරාන්ගේ අන්තවාදී මතවාද සිය ෆේස්බුක් පිටුව ඔස්සේ පළකරමින් සිට ඇති බවටද අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගනු ලැබූ සෙසු පුද්ගලයන් වන්නේ අක්‍රම් සින්ධා, ෂෙයික් හිදයතුල්ලාහ්, එම්. අබුබකර්, ඒ. සදාම් හුසේන්, ඊබ්‍රහිම් හෙවත් ෂනීන් ෂාහ් යන අයයි.

මොවුන් සියල්ලන්ම අවුරුදු 26ත් 38ත් අතර පුද්ගලයන් ය.

මොවුන් 2016 මැයි, ජුනි කාලයේදී මැදපෙරදිග රැකියාවලට ගොස් ඉන්පසුව ඇෆ්ගනිස්ථානය, සිරියාවට ගොස් ඉන්දියාවට යළි පැමිණ ඇත්තේ අයිඑස් සංවිධානයේ සාමාජිකයන් ලෙස බවට එරට ආරක්ෂක අංශ වෙත අනාවරණය වී තිබේ.