මොරටුව සරසවියත් එක්ව බලශක්තිය අඩු නිවාස ක්‍රමයක්

Picture of අසංක

අසංක

ශ්‍රි ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහ මොරටුව විශ්ව විද්‍යාලය එක්ව බලශක්ති කාර්යක්ෂම නිවාස ආකෘතියක් මෙරටට හදුන්වාදීමේ පර්යේෂණ ව්‍යාපෘති ගිවිසුමක් සදහා ගිවිසුම්ගත වී තිබේ.

අඩු ආදායම් ලාභි පවුල් සදහා බලශක්තිය අඩුවෙන් වැය වෙන නිවාස ක්‍රමයක් හදුන්වාදීමේ පර්යේෂණයක් සදහා විදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් මෙම පියවරට මුලාරම්භය තබා තිබිණි.

ඒ සදහා පසුගිය 15 වැනි දින මොරටුව විශ්ව විද්‍යාලයේදී මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කළ බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සදහන් කරයි.

මොරටුව විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය කේ කේ සී කේ පෙරේරා මහතා සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ සාලිය මැතිව් මහතා එම ආයතන වෙනුවෙන් මෙම ගිවිසුමට අත්සන් තැබුහ.

මෙම ව්‍යාපෘතියේ මුල් අදියර වශයෙන් මොනරාගල, කොළඹ සහ මහනුවර යන දිස්ත්‍රික්කවලින් තෝරාගත් නිවාස 350ක නියැදීයක් සමීක්ෂණයට ලක් කිරීමට නියමිතය.

එම අධ්‍යයනයෙන් අනතුරුව අඩු ආදායම්ලාභි නිවාස වල බලශක්ති පරිභෝජන රටාව හදුනාගැනීම හා බලශක්ති පරිභෝජන දර්ශක ගණනය කෙරේ.

අධ්‍යයනයෙන් අනතුරුව අඩු ආදායම් ලාභි පිරිස් සදහා බලශක්ති කාර්යක්ෂම නිවාස සැලසුම ඉදිරිපත් කෙරෙනු ඇත. මෙම නිවාස වලට අවශ්‍ය බලශක්තියද නිවාසයේ වහල මත සවිකරන සුර්ය විදුලිබල පද්ධති හරහා ලබාදීමට නියමිතයි.

මොරටුව විශ්ව විද්‍යාලයේ ගෘහ නිර්මාණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඉන්ද්‍රිකා රාජපක්ෂ හා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් විසින් පර්යේෂණ ව්‍යාපෘතිය මෙහෙයවති.