මුස්ලිම් පාතාලයේ නව නායකයා බව සදහන් මෙරට මහා පරිමාණයේ මත්කුඩු ජාවාරම්කරුවෙක් වන කංජිපානි ඉම්රාන්ගේ උපන් දිනය කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් සමග කේක් කපා සමරා ඇති බව හෙළිවී තිබේ. මෙහිදී කොළඹ අපරාධ කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂකයන් දෙදෙනකුට සිය උපන්දින කේක් කවා ඇති බව ද වාර්තාවේ.
කොළඹ නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතාගේ නියෝගයකින් ගල්කිස්ස කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල මහතාගේ මෙහෙයවීමෙන් සිදුකරන විමර්ශනයකදී ඒ බව හෙළිවී ඇත.
කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පිරිසක් සහ කංජිපානි ඉම්රාන් අතර ඇති ඉතා සමීප සම්බන්ධකම් ද මේ වනවිට හෙළිවෙමින් තිබේ.
කංජිපානි ඉම්රාන් සමග දීර්ඝ කාලයක් තිස්සේ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කිහිපදෙනෙක් සම්බන්ධකම් පවත්වන බව කංජිපානි ඉම්රාන් පිළිබද පරීක්ෂණ පවත්වන්නේ ද එම නිලධාරීන් විසින් බවත් පෙනී ගොස් ඇත.
කංජිපානි ඉම්රාන් දින 136 ක් පුරාවට කොළඹ අපරාධ කොට්ඨාශය භාරයේ රදවාගෙන සිටියත් අඩුම තරමින් ඔහුගෙන් ප්‍රශ්නකර ගිනි අවියක් හෝ ඇල්පෙනෙති තුඩුක තරමේ මත්කුඩු බිදක්වත් සෙයාගැනීමට හැකියාවක් ලැබී නැත.
කංජිපානි ඉම්රාන් ඩුබායි සිටියදී ඔහු කල අපරාධ ගැන පොලිසිය පම්පෝරි ගැසුවේ කොළඹ සිදුවූ සෑම වෙඩි තැබීමක්ම ඔහුගේ ගිණුමට බැර කරමිනි. මාකදුරේ මධුෂ් සමගින් ඩුබායි පොලිසියට හසුවූ අය අතර සිටි කංජිපානිව ඉකුත් මාර්තු 29 වෙනිදා මෙරටට පිටුවහල් කරනු ලැබීය. එහිදී ඔහුව භාර කෙරෙන්නේ කොළඹ අපරාධ කොට්ඨාශයටය. කංජිපානි සතුව ප්‍රකෝටි ගණනින් දේපොල ඇති බවද කියැවුණත් ඒ කිසිදු දේපොලක්වත් මේ කාලය තුළ කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සොයාගෙන නැත.
ඒ වෙනුවට ඔහු සම්බන්ධයෙන් විමර්ශන පවත්වන කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කිහිප දෙනෙක් කංජිපානි සමග කුළුපග වී සිටින බව තතු දත් තොරතුරු ‘ද කලම්බු එක්ස්ප්‍රස්’ ඊ පුවත්පතට වාර්තා කළේය.
ඒ බව සනාත කෙරෙමින් කොළඹ අපරාධ කොට්ඨාශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාශය තුළ කංජිපානි ඉම්රාන් සමග සුහද කථාබහක නිරතව වන අයුරු දැක්වෙන රහසිගතව පටිගතකරන ලද වීඩියෝ පටයක් සිංහලේ රාවය සංවිධානයේ මහ ලේකම් මාගල්කන්දේ සුදන්ත හිමි විසින් ඉකුත් 10 වෙනිදා ප්‍රසිද්ධ කරනු ලැබීය. එම වීඩියෝ දර්ශනය දුටු කොළඹ නියොජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතා විසින් වහාම ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භකර ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාශයේ ඇතැම් නිලධාරීන් කංජිපානි ඉම්රාන් සුරතල් කරන බව ඔහුටද දැන ගන්නට ලැබී ඇති බැවිනි.