CIDයේ කියලා හොර නෝට්ටු බෙදලා

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් ව්‍යාජ මුදල් මුද්‍රණයකර බෙදා හැරීමේ ජාවාරමක නිරතව සිටි පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ගම්පහ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මෙම වැටලීම කර ඇති අතර එහිදී ව්‍යාජ ලෙස මුද්‍රණය කළ මුදල් නෝට්ටු තොගයක් ද අත්අඩංගුවට ගෙන ඇත.

සංචරණ නීති දැඩිව රටතුළ ක්‍රියාත්මකකව තිබියදී මෙම සැකකරුවන් දෙදෙනා 24දා ගම්පහ ගල්පොත්ත හන්දියේ රැදී සිට ඇත.

ඒ ගැන පොලීසියට ඇතිවූ සැකයක් මත ප්‍රශ්න කිරීමේදී මෙම ඡාවාරම ගැන තොරතුරු හෙළිවී තිබේ.

එම අවස්ථාවේදී රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 07 ක් ඔවුන් සතුව තිබී පොලීසිය සොයාගෙන ඇත. රුපියල් 5,000 සේ ව්‍යාජ නෝට්ටු 04 ක්, රුපියල් 1,000 සේ ව්‍යාජ නෝට්ටු 133 ක්, රුපියල් 100 යේ ව්‍යාජ නෝට්ටු 71 ක් සහ රුපියල් 50 හේ ව්‍යාජ නෝට්ටු 747 ක් එහි තිබී සොයාගත් බව පොලීසිය කියයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටීම සදහා යොදාගත් ව්‍යාජ හැදුනුම්පත් දෙකක්, එම නෝට්ටු මුද්‍රණය කිරීමට යොදාගත් ලැප්ටොප් පරිගණක දෙකක්, ස්කෑනරයක් සහ මුද්‍රණ යන්ත්‍රයක් සහ නෝට්ටු මුද්‍රණයට යොදාගන්නා කඩදාසි තොගයක්ද පොලීසිය සෙසායාගෙන ඇත.

මෙම සැකකරුවන් අතර කැලණිය පෙතියාගොඩ පදිංචි 20 හැවිරිදි තරුණයෙක්ද සිටින බව පොලීසිය කියයි. අනෙත් සැකකරු මීතොටමුල්ලේ පදිංචි 44 හැවිරිදි අයෙකි.

සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් තාවකාලිකව ලැගුම්ගෙන සිටි සීදූව අම්බලන්මුල්ල ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලක්ද පොලිස් පරීක්ෂාවට ලක්ව තිබේ. ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කර ඇත්තේ එම නිවසේ සිට බව හෙළිවී ඇත.