වැරදි පුවත් හා වෛරීසහගත සිතුවිලි වැපිරූ ඉන්දුනීසියාවේ ෆේස්බුක් ගිණුම්, පිටු සමූහ සිය ගණනක් අත්හිටුවීමට ෆේස්බුක් සමාගම පියවර ගෙන තිබේ.
ඒ අතුරින් ඇතැම් ගිණුම් සාරාසෙන් නමැති කණ්ඩායමක් විසින් ජනතාව ප්‍රකෝප කරවන පුවත් හා ඡායාරූප, වීඩියෝ පළකරන බවට හදුනාගෙන ඇත.
එහි සාමාජිකයන් තිදෙනකු 2016 දී අත්අඩංගුවට ගැනීමට ද ඉන්දුනීසියානු පොලීසිය කටයුතු කර තිබුණි.
ෆේස්බුක් සමාගමේ සයිබර් ආරක්ෂණ ප්‍රතිපත්ති ප්‍රධානී නතානියෙල් ග්ලීචර් පවසන්නේ මෙලෙස අත්හිටුවූ ගිණුම් බොහොමයක් සාරාසෙන් නමැති සංවිධානයට අනුබද්ධව ඉතා සක්‍රීය ලෙස ජනතාව තුළ වෛරය වැපිරීම සදහා වැරදි පුවත්, සටහන්, වීඩියෝ, ඡායාරූප මුදාහරින බවට හදුනාගත් බවයි.
සාරාසෙන් වචනයෙහි අර්ථය වන්නේ අරාබි ජාතිකයා යන්නයි.
මහජන කතාබහට ආන්දෝලනයට තුඩුදෙන කතිකාවත් ඇති කිරීමට ද මොවුන් කටයුතු කර ඇතැයි ෆේස්බුක් සමාගම පැවැසීය.
ලොව විශාලතම සමාජ ජාලය ලෙස සැළකෙන ෆේස්බුක් ජාලය, වෛරය පැතිරවීම, දැවැන්ත අර්බුද මතුකිරීමේ තෝතැන්නක් වී ඇති බැවින් ඒවා මර්දනයට නිරන්තරයෙන් සිය ප්‍රතිපත්ති වෙනස් කරමින් සීමා පැනවීමට ෆේස්බුක් සමාගමට සිදුව තිබේ.
ශ්‍රී ලංකාවේ ද එවැනි තත්ත්වයක් උද්ගත වීම නිසා මෙරට තුළ ෆේස්බුක් භාවිතයට තාවකාලික තහනමක් පැනවීමට හා නව නීති රෙගුලාසි පාර්ලිමේන්තුව තුළ සම්මත කරගැනීමට මෙරට රජයට සිදුවිය.