නවතම පුවත්

IMF ප්‍රගති සමාලෝචනය ගැන පසු විපරමක් .

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයක් හට ගැනීමට සාධක කිහිපයක් ඉවහල් විය. 2019 දී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය එකකි. එයින් මෙරටේ සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන්ම බිඳ වැටිණි. 2019 අග භාගයේදී සිදු කළ බදු කප්පාදුව දෙවැන්නයි. එයින් රජයේ බදු ආදායම සැලකිය යුතු ලෙස අඩු විය. 

මේ හේතු දෙකත් සමග උග්‍ර වූ ආර්ථික අර්බුදයට අප සෙවූ පිළියම්වලින් එකක් වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකමකට ඇතුළත් වීමයි. මීට අමතරව නිදහසින් පසු ගනු ලැබූ විවිධ තීරණ ද මෙවැනි ආර්ථික අර්බුදයක් උද්ගත වීමට හේතු විය. නිදහසින් පසු රට පාලනය කළ සියලු ආණ්ඩු සහ නිලධාරීන් මේ තත්ත්වයට වගකිව යුතුය.

ආර්ථික අර්බුදවලට මුහුණ දෙන සාමාජික රටවලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ණය පහසුකම් ලබා දුන්නත් ඒත් සමගම විවිධ එකඟතා ඇති කර ගැනීමත් සිදු වේ. සමහරු ඒවා කොන්දේසි වශයෙන් හඳුන්වති. මා ඒවා හඳුන්වන්නේ එකඟතා ලෙසයි. නැතිනම් ඉලක්ක යනුවෙනි.

ඒ අනුව, ශ්‍රී ලංකාව සඳහා ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය මුදලක් වසර හතරක කාලයක් සඳහා අනුමත කළේය. එයින් පළමු ණය වාරිකය වශයෙන් ඩොලර් මිලියන 333 ක් ශ්‍රී ලංකාවට මීට පෙර ලැබිණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් එකඟතා කොතරම් දුරට ඉටු කර ඇත්ද යන්න ගැන කරන සමාලෝචනයකින් අනතුරුව දෙවැනි ණය වාරිකය නිදහස් කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය ගනියි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සම්බන්ධ පළමු සමාලෝචනය පසුගිය සතියේ දී අවසන් විය. එම සමාලෝචනයේ ප්‍රගතිය පිළිබඳව සැප්තැම්බර් 27 වැනි දින මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා අදහස් දැක්වූහ. එහිදී ඔවුහු දෙවැනි ණය වාරිකය නිදහස් කරන දින කාලවකවානු ගැන නිශ්චිත යමක් ප්‍රකාශයට පත් නොකළහ.

අදාළ සමාලෝචනයේ දී එම නියෝජිතයෝ ශ්‍රී ලංකාවේ ආර්ථිකය හා ක්‍රියාත්මක කර ඇති ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ධනාත්මක කරුණු කිහිපයක් ඉදිරිපත් කළහ. එසේම තවදුරටත් සලකා බැලිය යුතු කරුණු රාශියක් ගැන ආණ්ඩුවේ හා ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය යොමු කළහ.

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ඇති කර ගත් විස්තීරණ ණය පහසුකමට අදාළ ගිවිසුමේ දී ප්‍රධාන එකඟතා කිහිපයක් ඇති කර ගන්නා ලදී. එනම්, ආර්ථිකය නිවැරැදි කිරීම සඳහා කළ යුතු ප්‍රතිසංස්කරණ හැටියට අප පිළිගත් ඒවාය. ඒවා කොටස් පහක් යටතේ දැක්වීමට පිළිවන.

පළමුවැන්න, ආදායම් ඉලක්ක කර ගත් ප්‍රතිසංස්කරණ ඇති කිරීමයි. එයින් මූලිකව අපේක්ෂා කරන්නේ වැට් බදු හා ආදායම් බදු ඇතුළුව බදු ආදායම් වැඩි කර ගැනීමයි. පාඩු නොලබන ආකාරයට බලශක්තිය වැනි උපයෝජන සේවාවන්හි මිල තීරණය කිරීමත් ඊට අයත් විය.

දෙවැන්න, රාජ්‍ය ණය තිරසර කර ගැනීම සඳහා දිගුකාලීන පියවර ගැනීමයි. ශ්‍රී ලංකාව කලක් තිස්සේ ණය අර්බුදයකට මැදිව සිටියෙන් ණය තිරසර කර ගැනීම සඳහා අපි එකඟ වූයෙමු.

තුන්වැන්න, මූල්‍ය ප්‍රතිපත්තිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමයි. ඒ යටතේ රජයට මහ බැංකුව ලබා දෙන ණය හා උද්ධමනය පාලනය සම්බන්ධයෙන් යම් යම් එකඟතා හඳුන්වා දෙන ලදී.

සිව්වැන්න, විනිමය වෙළෙඳපොළ ඇතුළත වෙළෙඳපොළ බලවේගවලට නිදහසේ ක්‍රියාත්මක වීම සඳහා ඉඩ ලබා දීමයි.

පස්වැන්න, දුප්පත් හා අවදානම්සහගත ප්‍රජාවන් වෙනුවෙන් සමාජ ආරක්ෂණ ජාල පුළුල් කිරීමයි. මෙම මූලික එකඟතා මුල් කරගෙන තවත් උප ඉලක්ක කිහිපයකට ශ්‍රී ලංකා රජයත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එළැඹිණි.

පසුගියදා අවසන් වූ පළමු සමාලෝචනය ඇගයීමේදී ඉහත සඳහන් කළ එකඟතාවල ප්‍රගතිය ගැන අවධානය යොමු කළ යුතුය. එම එකඟතා ඉටු නොවූ තත්ත්වයක දෙවැනි වාරිකය ලබා දෙන නිශ්චිත දින වකවානු ප්‍රකාශ කිරීමක් සිදු නොවුණි. එබැවින් අපි එම එකඟතා ඉටු කළ යුතු වෙමු. අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ වෙනත් ණය දෙන පාර්ශ්ව රැවටිය නොහැකිය.

ඊට හේතුව, අපේ ආර්ථික අර්බුදයේ ගැඹුර ඒ සා පුළුල් වන බැවිනි. ශ්‍රී ලංකාව මීට ඉහත දී මූල්‍ය අරමුදලෙන් 16 වතාවක් ණය ලබා ගෙන ඇතත් ඒවායෙහි දී ඇති කර ගත් එකඟතා සම්පූර්ණයෙන්ම ඉටු කර මුළු ණය මුදල ලබා ගැනීමට හැකි වූයේ අවස්ථා නවයකදී පමණි.

ශ්‍රී ලංකාව ඇතැම් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී ධනාත්මක ප්‍රගතියක් පෙන්නුම් කර තිබෙන බව පළමු සමාලෝචනයේ දී ප්‍රකාශ විය. ආර්ථික කාර්යසාධනයට අදාළ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඵලදායී සාකච්ඡාවක් පවත්වන ලද බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ මාධ්‍ය නිවේදනය මගින් දක්වා තිබේ.

යම් ආකාරයක එකඟතා කිහිපයකට පැමිණීමට ශ්‍රී ලංකාව සමත් වී ඇති බවක් ඉන් අදහස් වේ. එබැවින් මීළඟ ණය වාරිකය නිදහස් කිරීම පිළිබඳ සුබවාදී අපේක්ෂා තබා ගත හැකි බව මගේ අදහසයි. දෙවැනි ධනාත්මක කාරණය වශයෙන් දක්වා තිබෙන්නේ ශ්‍රී ලංකාව ප්‍රජාවක් වශයෙන් මේ ආර්ථික අර්බුදයට මුහුණ දීමට සමත් වූ බවයි. එසේම ආර්ථික ප්‍රතිසංස්කරණ අරබයා සැලකිය යුතු ප්‍රගතියක් අත් කර ගෙන ඇති බව ද මූල්‍ය අරමුදල කියයි. එහි අදහස නම්, පෙර සඳහන් කළ ප්‍රධාන එකඟතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව යම් ප්‍රගතියක් අත් කර ගෙන ඇති බවයි.

ඒ යටතේ උද්ධමනය පාලනය කිරීම සම්බන්ධයෙන් ළඟා කර ගෙන ඇති ප්‍රගතිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රශංසාවට ලක් කර තිබේ. ආර්ථික අර්බුදයත් සමග සියයට 90 සීමාවට ගිය උද්ධමන අනුපාතිකය මේ වනවිට සියයට 2 දක්වා අඩු වී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එය ධනාත්මක කාරණයක් හැටියට පිළිගනියි.

මේ වසරේ මාර්තු මාසයේ පැවැති තත්ත්වයට සාපේක්ෂව ජූනි වන විට මෙරට නිල සංචිත ඩොලර් බිලියන 1.5 න් ඉහළ නංවා ගැනීමට හැකිවීමත් ධනාත්මක වර්ධනයක් හැටියට හඳුනාගෙන තිබේ. අත්‍යවශ්‍ය භාණ්ඩවල පැවැති හිඟය අවසන් වීමත් ධනාත්මක වර්ධනයක් වශයෙන් දක්වා ඇත. ආර්ථිකය ස්ථාවරත්වයට පත්වීමට අවශ්‍ය මංසලකුණු පවතින බවත් ඒවා ඉටු කර ගැනීම සඳහා තවදුරටත් කටයුතු කළ යුතු බවත් මූල්‍ය අරමුදල මේ මාධ්‍ය නිවේදනයෙන් කියයි.

ශ්‍රී ලංකාවේ ජාතික නිෂ්පාදිතය පහළ යෑමක් නිරීක්ෂණය වන බව ද එම ආයතනය පවසයි. එසේම ආර්ථික දර්ශකවල අඛණ්ඩ මිශ්‍ර සංඥා ඉදිරිපත් කිරීමක් දැකිය හැකි බවත් දක්වා තිබේ. මේ ගැන අපේ අවධානය යොමු විය යුතුය. සංචිත රැස් කිරීමෙහි යම් පහළ යෑමක් දැකිය හැකි බවටත් නිරීක්ෂණය කර ඇත. දිළිඳු ප්‍රජාව ශක්තිමත් කිරීමට අදාළ සමාජ ආරක්ෂණ ජාල ශක්තිමත් කිරීම සඳහා තවදුරටත් කටයුතු කළ යුතු බවත් මූල්‍ය ස්ථායීතාව තහවුරු කිරීම අරබයා වන ක්‍රියාමාර්ග ගත යුතු බවත් මෙම මාධ්‍ය නිවේදනයෙහි දැක්වේ. ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතු බවත් අවධාරණය කර තිබේ.

අපේක්ෂිත ඉලක්කයට රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමට නොහැකි වීම ගැනත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධානය යොමු කර ඇත. දෙවැනි ණය වාරිකය නිශ්චිතව ලබා දෙන දින වකවානු ප්‍රකාශයට පත් නොකිරීමට එයත් එක් හේතුවකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එහි සාමාජික රටකට ණය ලබා දීමේදී සාධක කිහිපයක් සැලකිල්ලට ගන්නා අතර ණය තිරසරභාවය ප්‍රමුඛ සාධකයකි.

එනම්, ණය ලබා දුන් පසු එම ණය නැවත ගෙවීමට හැකියාවක් තිබේද යන්නයි. වෙළෙඳපොළෙන් ණය ගැනීමට ණය අපේක්ෂා කරන රටට ඇති හැකියාවද එහිදී විමසුමට ලක් කරයි. ඊට අදාළව ඇති කරගත් එකඟතාවන්ගෙන් සමහර ඒවා ඉටු කිරීමට අපි අපොහොසත් වී ඇත්තෙමු.

බදු ආදායම් ඉලක්ක එකකි. බදු ආදායම් ඉහළ නංවා ගැනීම අරබයා ශ්‍රී ලංකාව එකඟතාවක් ඇති කර ගෙන තිබිණි. වැට් බදු අනුපාතය සියයට 8 සිට 15 දක්වා වැඩි කිරීමත් සමාගම් හා පුද්ගල ආදායම් බදු ඉහළ නැංවීමත් ඊට අයත් විය. අපේක්ෂිත ආදායම් ඉලක්ක වෙත යෑමට නොහැකි තත්ත්වයක් මේ වන විට ඇති වී තිබේ.

ඍජු බදු පැනවීමෙන් අරමුණු කළ ඉලක්ක පූරණය කර ගැනීමට නොහැකි වීම ඊට බලපා තිබෙන ප්‍රධාන හේතුවයි. රාජ්‍ය ආදායම හා වියදම අතර පරතරය තවදුරටත් සියයට 15 ක මට්ටමේ පවතී. ආදායම් ඉලක්ක කරා ළඟා වීමේ දී නිශ්චිත ක්‍රමවේද අනුගමනය කිරීමට සිදු වන බව බලධාරීන් තේරුම් ගත යුතුය. වෘත්තිකයන් මත පමණක් බදු පැනවීමෙන් මේ ප්‍රශ්නයට ආමන්ත්‍රණය කළ නොහැකිය. ඒ සඳහා බදු පදනම පුළුල් කළ යුතුය.

ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වේගවත්ව සිදු නොවූ බවට මතයක් තිබේ. මේ පළමු සමාලෝචනයේදී ණය තිරසරභාවය ගැන එතරම්ම අවධානයක් යොමු නොවන්නට එයත් හේතු වූවා වන්නට පිළිවන. විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් විවිධ සාධනීය ප්‍රකාශ විටින් විට නිකුත් වුවද මේ දක්වා අවසාන එකඟතාවකට පැමිණීමට නොහැකි වී තිබේ.

ඒ සඳහා පවතින භූ දේශපාලනික සාධක ද බලපා තිබේ. මෙවැනි සන්දර්භයක ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල් නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් මත ණය හිමි සියලු රටවල් සමග සාකච්ඡා කර ඉක්මනින් අවසන් එකඟතාවකට පැමිණීම වැදගත්ය. එමගින් ණය තිරසර කර ගැනීමට ඉහළ හැකියාවක් ලැබේ.

GDP
මෙරට ආර්ථිකයේ වර්ධනයක්
image-5
ලෝටස් ටයර් අලෙවි ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන්ට තරු පංතියේ හෝටලයක අගනා අත්දැකීමක්
image-4
Earthfoam සමාගම සිය රබර් ගොවීන්ගේ දරුවන් 1,900කට රු. මිලියන 15කට වැඩි වටිනාකමකින් යුතු පාසැල් බෑග් හා පොත් පිරිනමයි.
image-3
වසර හතරකට පසු ජපානයේ Sri Lanka Festival ජූනි 15/16.
imf ddr
IMF වෙතින් සුභ පණිවුඩයක් !
electricity
ලංවිම යෝජනා කළ ලබන මාසේ සිට අඩුවන විදුලි ගාස්තුව
image-1
රු. බිලියනයක Beliatha සූර්යබල ව්‍යාපෘතියට විදුල්ලංකා ගිවිසුම් අත්සන් තබයි
remittens
විදෙස් ශ්‍රමිකයන් මැයි මාසෙට ඩොලර් මිලියන 544 ක් එවයි
image
ළඟදීම ශ්‍රී ලංකාවට එන ඉලෝන් මස්ක්ගේ StarLink ගාස්තු මෙන්න..
BWIO-1
Business World Internationalසම්මාන උළෙලටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ