LPL අද ඇරඹෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධානය කරන ලංකා ප්‍රීමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සමාරම්භය අද සවස සූරියවැව, මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. කණ්ඩායම් 05 ක් මෙවර තරග වදින අතර විදේශිය ක්‍රීඩකයන් රැසක් ද මේ සදහා එක්වේ.

LPL (එල්.පී.එල්.) ශූරතාව සඳහා ඇමෙරිකානු ඩොලර් 80,000 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 144 ක (රුපියල් කෝටි 1.5 කට ආසන්න) මුදලක් පිරිනැමීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.  තරගාවලියේ අනු ශූරයන්ට ඩොලර් 50,000 ක් හෙවත් ලක්‍ෂ 90 කට ආසන්න මුදලක් පිරිනැමීමට නියමිතය.

මෙම ත්‍යාග මුදල පිළිබඳව කළ විමසුමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියා පැවසුවේ මෙය තරගාවලිය සංවිධානය කරන විට ත්‍යාග මුදල් ලෙස වෙන්කළ ගනණක් බවයි.

“මෙම ත්‍යාගය අපි තරගාවලිය ආරම්භ කරන විට වෙන්කළ මුදල් ප්‍රමාණයයි. ඇතැම් විට මෙම ත්‍යාග මුදල වෙනස් වෙන්නත් පුළුවන්” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඩොලර් ලක්‍ෂ 13 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 2340 ක් (රුපියල් කෝටි 23) වෙන්කර ඇති අතර එම මුදලට මෙම ඩොලර් 130,000 ද ඇතුළත් වේ.  මෙම තරගාවලිය සඳහා මේ වන විට ප්‍රධාන අනුග්‍රාහකයකු ලැබී ඇති අතර තරගාවලි සංවිධායක අයිතිය හිමි සමාගමෙන් ඩොලර් ලක්‍ෂ 17.75 කට අධික මුදලක්   (රුපියල් කෝටි 30 කට අධික) ලැබීමට නියමිතය.

මෙම තරගාවලියේ අවසන් මහ තරගය දෙසැම්බර් මස 16 වැනිදා රාත්‍රී විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වීමට නියමිතය. එදින රාත්‍රී ජයසංකේත ප්‍රදානෝත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට මේ වන විට සැළසුම් කර තිබේ.