නවතම පුවත්

Selyn පදනම අභියෝගයන් හමුවේ නොසැලෙන කාන්තා පරපුරක් වෙනුවෙන්#BleedGood වැඩසටහන අරඹයි!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

  • #BleedGood වැඩසටහන සමඟින් නැවත භාවිත කළ හැකි සනීපාරක්ෂක තුවා හා දැනුම ලබා දීමට පෙරමුණ ගනියි 
  • පරිවර්තනීය වෙනසක් වෙනුවෙන් පාර්ශවකරුවන් සමඟ එක් වෙයි

ලෝකයේ දියුණු රටවලට සාපේක්ෂව දකුණු ආසියාතික රටවල කාන්තාවන් ජයග‍්‍රහණයන් වෙත ගමන් කිරීමේදී මුහුණ දෙන ප‍්‍රබල අභියෝගයක් ලෙස ඔසප් දරිද්‍රතාව සඳහන් කළ හැකිය. මෙරට තුළද තත්වය ඊට දෙවැනි නැත. විශේෂයෙන් සංස්කෘතික හා ආර්ථික සාධකයන් හේතු කර ගනිමින් මෙම ඔසප් දරිද්‍රතාවයට මුහුණ දෙන මෙරට කාන්තාවන් තමන් අත්විඳින දුෂ්කරතාවන් හමුවේ ජීවිතයේ බොහෝ අවස්ථාවන් මගහැර ගනිමින් සිටින බව කණගාටුවෙන් වුව සඳහන් කළ යුතුය. ගෝලීයකරණය හා තාක්ෂණික දියුණුව තුළ වුව මෙවන් තත්වයක් මෙරට කාන්තාවට උදාවීම අභාග්‍යයකි. එහෙයින් ඒ වෙනුවෙන් යම් හඬක් නැගීම කාලෝචිතය.

ඒ බව මනාව හඳුනාගත් Selyn පදනම ඔසප් සනීපාරක්ෂාව වෙනුවෙන් නිර්භීත ඉදිරි පියවරක් තැබීමට කටයුතු කර ඇත්තේ ශ‍්‍රී ලංකාව පුරා ඔසප් දරිද්‍රතාව හේතුවෙන් දුෂ්කරතාවයන්ට මුහුණ දෙන කාන්තාවන් නගා සිටුවීමට කටයුතු කරමිනි. පසුගිය මාර්තු 14 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී #BleedGood වැඩසටහන දියත් කරමින් ඊට සවිමත් ආරම්භයක් සනිටුහන් කළ Selyn පදනම ශ‍්‍රී ලාංකේය කාන්තාවන් විශ්වාසනීය ඉදිරි ගමනක් වෙනුවෙන් දිරි ගැන්වීමට කටයුතු කරන ලදී. දුප්පත්කම හා සංස්කෘතික කරුණු හේතුවෙන් ඔසප් දිනයන්හිදී ඊට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් සපයා ගැනීමට නොහැකි මෙරට කාන්තාවන් වෙනුවෙන් නැවත භාවිත කළ හැකි සනීපාරක්ෂක තුවා ලබා දීමට මෙන්ම ඒ සම්බන්ධයෙන් කාන්තාවන් දැනුවත් කිරීමේ වැඩමුළු සංවිධානය කිරීමට Selyn පදනම මේ යටතේ බලාපොරොත්තු වෙයි. එසේම විවිධ පාර්ශ්වයන් සමඟ එක් වෙමින් එවැනි කාන්තාවන්ගේ ගැටළු හඳුනාගනිමින් අවශ්‍ය විසඳුම් ලබා දීම කෙරෙහි අවධානය යොමු කර ඇති Selyn පදනම මෙම මානුෂීය සත්කාරය තුළින් මානසික වශයෙන් ශක්තිමත් කාන්තාවක් නිර්මාණය කිරීමටද මේ තුළින් අරමුණු කොට ගෙන ඇත.

මෙම කාලෝචිත ප‍්‍රයත්නයෙහි නිර්මාතෘ වන්නේ සැන්ඩ‍්‍රා වඳුරාගල මහත්මියයි. මෙම ප‍්‍රයත්නයෙහි අරමුණ පැහැදිලි කළ ඇය සඳහන් කර සිටියේ මෙවැන්නකි.

‘‘Selyn පදනම මෙරට කාන්තාවන් වෙනුවෙන් ආධාර ලබා දීමෙන් නොනැවතී ඔවුන්ගේ ජීවිත නගා සිටුවීම වෙනුවෙන් කටයුතු කරන සංවිධානයක් ලෙස සඳහන් කළ යුතුයි. විශේෂයෙන් ඔවුන්ගේ ජීවිතවල තිරසාර වෙනසක් ඇති කරමින් ඔසප් දරිද්‍රතාව හමුවේ ඔවුන් මුහුණ දෙන ගැටළු නිරාකරණය කිරීමට අප කටයුතු කරනවා. ශ‍්‍රී ලංකාව තුළ ඔසප් කාල සීමාව තුළ අවශ්‍ය පහසුකම් හෝ ලිංගිකත්වය හා ප‍්‍රජනනය වැනි සෞඛ්‍ය ගැටළු පිළිබඳව දැනුම නොමැති කමින් පීඩා විඳින කාන්තාවන් විශාල පිරිසක් සිටින බව අප දැක තිබෙනවා. #BleedGood වැඩසටහන තුළින් එවන් කාන්තාවන් සඳහා අවශ්‍ය සනීපාරක්ෂක තුවා පරිත්‍යාග කිරීමෙන් ඔබ්බට යමින් මනා ප‍්‍රජනන සෞඛ්‍යයක් හා යහපැවැත්මක් ඔවුන් වෙත උරුම කර දීම සඳහා අවශ්‍ය මෙවලම්වලින් හා දැනුමින් පෝෂණය කිරීමට අරමුණු කොට ගෙන තිබෙනවා. සෑම කාන්තාවකටම තමන්ගේ අභිමානය ආරක්ෂා කරගනිමින් විශ්වාසවන්තව ඔසප් දිනයන්ට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය තිබිය යුතුයි. අප ඒ ශක්තිය ලබා දීමට කැපවී කටයුතු කරනවා’’

තවත් එක් ව්‍යාපෘතියක් පමණක් නොවන #BleedGood තුළින් කාන්තාව නගා සිටුවීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කිරීමට කටයුතු කිරීමද විශේෂත්වයකි. එහිදී අන්තර්ජාතික ප‍්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය කරනු ලබන නැවත භාවිත කළ හැකි සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කිරීමේ සුවිශේෂී මෙහෙයුම තුළින් කාන්තාවකට මාස 18ක් දක්වා ඔසප් සනීපාරක්ෂක විසඳුම් ලබාදීමට #BleedGood වැඩසටහන තුළින් පෙරමුණ ගෙන ඇත්තේ දිගු කාලීන විසඳුමකට අවශ්‍ය ප‍්‍රවේශය නිර්මාණය කරමිනි. ඔසප් දරිද්‍රතාවය බොහෝ කාලයක් පුරා සමනය කිරීමට මෙන්ම කාන්තාවන්ට සුවපත් මනසකින් යුතුව කටයුතු කිරීමට පමණක් නොව මෙම වැඩසටහන තුළින් සාධාරණ ව්‍යාපාරකරණයකට අවශ්‍ය වටපිටාව සකසා ඇත්තේ කාන්තාවන් වෙනුවෙන් සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කරනු ලබන ප‍්‍රජාවද සවිබල ගන්වමිනි.

‘‘ගෝලීය වශයෙන් කාන්තාවන් මිලියන ගණනක් මෙම ඔසප් දරිද්‍රතාව හේතුවෙන් ඉමහත් දුෂ්කරතාවයන්ට පත් වනවා. ඒ හේතුවෙන් ඔවුන්ගේ ආත්මාභිමානයට මෙන්ම මූලික අයිතිවාසිකම්වලටද විශාල අසාධාරණයක් සිදු වන බව අප පිළිගත යුතුයි. සමාජය තුළ දැකිය හැකි මෙම අසමානතාව හමුවේ හඬක් නැගීම අත්‍යාවශ්‍ය වන අතර #BleedGood තුළින් ඊට අවශ්‍ය ප‍්‍රායෝගික විසඳුම් ලබා දීමට කටයුතු කර ඇති අප කාන්තාවන්ගේ ජීවිත සුරක්ෂිතතාව හා නගා සිටුවීම සඳහා වෙනස් ආකාරයෙන් කටයුතු කරමින් ඔවුන් සවිබල ගැන්වීමේ ව්‍යාපාරයක් ලෙස අඛණ්ඩව කටයුතු කරනවා.’’

එසේ අදහස් දැක්වූ Selyn පදනමේ අධ්‍යක්ෂිකා සෙලීනා පීරිස් මහත්මිය ‘’අපගේ උත්සාහය වන්නේ ශ‍්‍රී ලංකාව පුරා සිටින කාන්තාවන්ට අවශ්‍ය සහයෝගය ලබා දෙමින් ඔවුන් දිරිමත් කිරීමේ හා සවිබල ගැන්වීමේ ප‍්‍රජාවක් නිර්මාණය කිරීමයි. විශේෂයෙන් අධ්‍යාපනය, මග පෙන්වීම සහ අඛණ්ඩ සහයෝගය තුළින් සියලූ කාන්තාවන් වෙත ඔසප් දරිද්‍රතාවය හමුවේ කිසිඳු දුෂ්කරතාවකට ලක් නොවන අනාගතයක් උරුම කරදීමට අවශ්‍ය වැඩපිළිවෙල අපි සකස් කරමින් තිබෙනවා. සියලූ කාන්තාවන්ට ඔසප් සනීපාරක්ෂාව සමානව විඳගැනීම හා කාන්තා අයිතිවාසිකම් සපුරා ගැනීම උදෙසා අපි සියලූ දෙනා එක්ව නැගී සිටිමු.’’ යනුවෙන්ද පවසා සිටියාය.

ඔසප් දරිද්‍රතාව තුරන් කිරීම සඳහා යන ගමනේදී විශේෂයෙන් බිම් මට්ටමේ කාන්තාවන්ට අවශ්‍ය දැනුම, උපදෙස් හා සහාය, නීති සේවා සහ ලිංගික හා ප‍්‍රජනන සෞඛ්‍ය හා අයිතිවාසිකම් වැනි සේවා සම්බන්ධ විශේෂඥ හවුල්කරුවන් සමඟ එක්ව කටයුතු කිරීමටද Selyn පදනම කැපවී කටයුතු කරයි. ඒ සඳහා අවශ්‍ය වැඩමුළු, උපදේශන හා මග පෙන්වීම් තුළින් ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප‍්‍රචණ්ඩත්වය හා ළමා ආරක්ෂාව වැනි කරුණු සම්බන්ධව කාන්තාව දැනුවත් කිරීමටත්, ඔවුන්ගේ යහ පැවැත්ම වෙනුවෙන් තවදුරටත් සවිබල ගැන්වීමටත් #BleedGood අරමුණු කොට ගෙන සිටී.

මේ වෙනුවෙන් විවිධ ආකාරයෙන් කැපවී සිටින සංවිධාන හා පුද්ගලයින්ට තමන් සමඟ එක්ව කටයුතු කරන ලෙස ආරාධනා කරන Selyn පදනම ඒ සඳහා ප‍්‍රජා මැදිහත්වීම් වෙනුවෙන් පහසුකම් සැලසීමට මෙන්ම තිරසාර වෙනසක් ඇති කිරීමට සහයෝගය හා මග පෙන්වීම තුළින් සිය අඛණ්ඩ දායකත්වය ලබා දීමටද කටයුතු කරනු ඇත.

මෙම මානුෂීය සත්කාරයේදී කාන්තා යහ පැවැත්ම හා අභිවෘද්ධිය වෙනුවෙන් පමණක් නොව පාරිසරික යහ පැවැත්ම පිළිබඳවද Selyn පදනම අවධානය යොමු කර ඇත්තේ සිය නිෂ්පාදනයන් සඳහා පරිසර හිතකාමී අමු ද්‍රව්‍ය භාවිත කිරීමට පියවර ගනිමිනි. එපමණක් නොව වෙළෙඳපොල සාධාරණත්වය වෙනුවෙන්ද සිය දායකත්වය ලබා දීමට කටයුතු කරන එම පදනම පරිසරයට අවම බලපෑමක් වන අයුරින් ප‍්‍රජාව නගා සිටුවීමේ මෙහෙවර ඉදිරියට ගෙන යාමට කටයුතු කරමින් සිටියි. මෙහිදී ඔවුන් විසින් ආරම්භ කර ඇති Selyn ප‍්‍රජා අරමුදලද වැනි වැඩසටහන් හරහා ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනුයේ අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා හා ආර්ථික සවිබල ගැන්වීමේ වැඩසටහන් සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙමිනි. මේ සියලූ දේ තුළින් තිරසාර සංවර්ධනයක් සමඟින් මානව ප‍්‍රජාවේ සැමට සාධාරණ සමාජයක් නිර්මාණය කිරීම උදෙසා Selyn පදනම කටයුතු කරනු ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්