නවතම පුවත්

දේශපාලන ලය විරේකය රණවිරුගායට ඔසුවක් ලෙස

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

තිස්වසරක් පුරා පැවති සිවිල් යුද්ධයෙන් ශ්‍රී ලාංකීය සමාජය බැටකෑ අරුමය නැවත නැවතත් චිත්ත රූප මවමින් රචනා නොකළයුතු මනාය. මක් නිසාද යත් යුද්ධය මිටි මොලවා පැමිණි කරුමයේ රග අප පසුගිය දශක ගණනාවක් පුරාවට මනස හෙම්බත් වනතුරු ලියා කියවා ඇති හෙයිනි. නමුත් 2009 වසරින් ඇරඹි පශ්චාත් යුද සමය පුරාවට අපට අසන්නට ලැබුනේ යුද වීරත්වය පිළිබදවූ පුරාවෘත්තයන්ය. එයද දේශපාලන වේදිකා මතින් බලහත්කාරයෙන් මෙන් ශ්‍රවනය කරවා මිනිසුන් එයින්ද හෙම්බත් වී හැඩකි. මෙවන් පසුබිමක අවාසනාවන්ත ලෙස ලාංකීය භූමිය මත ශේෂවූවන් වන්නේ යුද්ධයෙන් ආබාධිත වූ සෙබළුන්ය. එහි උච්චතම අවස්ථාව අප අත් විදින්නේ ඔවුනගේ විශ්‍රාම වැටුප් ගැටලු සම්බන්ධයෙන් ආබාධිත සෙබළුන් පිරිසක් විසින් පසුගියදා කොළඹදී මෙහෙයවූ විරෝධතාවක් හේතුකොටගෙනය. පවතින ආණ්ඩුව ඔවුන්ව පොලීසිය යොදා මර්දනය කිරීමට ගත් උත්සහයත් මෙතෙක් දේශපාලනිකව අස්ථාන ගතව සිටි පක්ෂ ඔවුන්ට රණවිරු ලේබලය අලවා තමන් ගෙන් මෙතෙක් දුරස්ව තිබූ දේශපාලන ආකර්ෂණයත ලබා ගන්නට ගත් උත්සහයන් දෙස සාමාන්‍ය ජනයා බලා සිටියේ පිළිකුළෙනි. ඔවුනගේ පොදුමතය වූයේ ආබාධිත සෙබලාගේ ඉරණම මෙලෙස මහමග නොවිසදිය යුතු බවය. නමුත් එය එසේ සිදු විය.

පශ්චාත් යුදසමය තුල අබාධිත සෙබළුන් කෙරෙහි වූ ආකල්පය ප්‍රධාන වශයෙන් දෙයාකාරයකින් සමාජගත කිරීමට දේශපාලනිකව ගත් උත්සහයන් කැපීපෙණුනි. එක් දේශපාලන ප්‍රවාහයක් විසින් ඔවුන්ව හුදෙක් යුදවිරුවන් හෝ රණවිරුවන් ලෙස හංවඩු ගසමින් ඔවුනගේ සුදු පිරුවටයේ උඩු සක්කුවේ තබා ගන්නට උත්සහ කළ අතර තවත් පාර්ශවයක් එකී රණවිරු හංවඩුවෙන් තම දේශපාලන ප්‍රවාහයට අත්වේ යැයි අනුමාන කළ දේශපාලන අවාසිය කරණකොටගෙන මෙකී ආබාධිත සෙබලුන් සිය සපත්තු පතුලටත් යටින් තබා ගැනීමෙහිලා කටයුතු කළේය. මේ සියල්ලකගෙන් පීඩනයට පත් වූයේ සෘජුවම යුද්ධයට මැදිව සිය තරුණ දිවියම යුද්ධයට කැප කර යුධබිමේදී දිවි පිදූ හෝ සදාකාලිකව ආබාධිත වූ යුද සෙබළාම පමණි.

ලාංකීය භූමිය මත ආබාධිත සෙබළා ස්ථානගත විය යුත්තේ කොතැනද? එය සමකාලීන ලාංකීය දේශපාලන හා සමාජයීය සන්දර්භය තුල පවතින බලවත් අර්බුදයකි. විටෙක අබාධිත සෙබලා දේශපාලන අතකොළුවකි තවත්විටෙක ඔවුන් සමාජයට බරකි. මෙකී තත්වයන් සිතාමතාම ගොඩ නගා ඇත්තේ බලහත්කාරී දේශපාලන වුවමනාවන් සාක්ෂාත් කරගැනීම උදෙසාය. දියුණු සමාජයන්ගෙන් හෙබි රාජ්‍යන් තුල යුද සෙබළා හට සමාජයේ හිමිවන්නේ විශේෂිත ස්ථානයකි. ඔවුන් සාමන්‍ය ජනසමාජයෙන් තරමක් උඩට ඔසවා තබන්නේ ඔවුන්ගේ සුවිශේෂී සමාජ මෙහෙවර සදහා කරනු ලබන කෘතගුණ සැලකීමක් වශයෙනි. නිදසුනක් වශයෙන් මැදපෙරදිග අර්බුදයට අමෙරිකානු මිලිට්යරිමය අත පෙවීම ලොව බොහෝ පාර්ශව දැඩි ලෙස හෙළා දුටුවද, අමෙරිකානු සමාජය තුල හමුදා සොල්දාදුවා දෙස බලන්නේ ගර්වයකිනි. එම තත්වය මා වෙසෙන ඔස්ට්‍රේලියාවේද එක හා සමානය. එකී සමාජයන් තුල යුදහමුදා සෙබළා විරුවෙක් හෝ දෙවියකු නොවේ, ඔහුද සමාජයේ සාමාන්‍ය පුද්ගලයෙකි, නමුත් සමාජය වෙත සිදු කරනු ලබන සුවිශෙෂී මෙහෙය කරනකොටගෙන ඔහු හට සමාජයෙන් හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.

නමුත් ලාංකීය සමාජය තුල ඉහත තත්වය ඉදුරාම වෙනසය. අප යුද සෙබලා විටෙක දේශපාලකයාගේ උඩු සාක්කුවේ සුරතල් වන අතර තවත් විටෙක එම දේශපාලකයාගේම සපත්තු පහරේ අමිහිර විදීමට ඔහුට සිදුවේ. කොටින්ම යුද සෙබලා නම් සංකල්පය ඔවුන් සමාජය වෙත මුදා හරිනුයේ ඔවුනට වුවමනා අවස්ථාවේදී පමණි. එය හුදෙක් බාල දේශපාලන ක්‍රියාවලියකි. වචනයේ පරිසමාප්තාර්තයෙන්ම යුද සෙබලා යනු ලාංකීය දේශපාලන චෙස් ලෑල්ලේ එහා කොණ සිට මෙහා කොණේ සිටින රජු එක් චලනයකින් චෙක් මේට් කරීමට තරම් සමත් ප්‍රබල දේශපාලන කෙටි මාර්ගයකි. එනයින් එක් පාර්ශවයක් යුද සෙබලා නම් සංකල්පය ලාංකීය සමාජය මත දේවත්වයෙන් පුදනු ලබන්නේ ද සෙසු පාරශවය විසින් සුළු කොට තකන්නේද තමන්ගේ දේශපාලන බලය තවත් චිරාත් කාලයකට රැක ගැනීමට විනා වෙනත් හේතුවකට නම් නොවේ.

සමස්ත දේහයම කුණු වෙමින් තිබෙන පසුබිමක එක් තුවාලයක් පිළිබදව ඉස්මතු කිරීම අර්ථ ශූණ්‍ය යැයි සිතුනද මෙම අර්බුදය සිතාමතා ම ඉස්මතු කළ යුතු වන්නේ සමස්ත ලාංකීය සමාජය වෙනුවෙන් දිවි දුන් හෝ සදාකාලික්ව අබාධිත වූ සියලු සෙබලුන් තමන්  සමාජය වෙත සිදුකළ සේවයට ලැබිය යුතු සුවිශේෂී ස්ථානය ඔවුනට හිමි විය යුතු බැවිනි.  යුද සෙබලා දේශපාලකයාගේ සාක්කුවෙන් එළියට ගෙන සදාකාලිකවම ලාංකීය ජනයාගේ හද පත්ලේ ආදරයෙන් තැන්පත් කළ යුතුය. එමෙන්ම සිතාමතාම ආබාධිත සෙබළුන් දේශපාලනිකව පීඩනයට පත් කිරීමද නවතා දැමීමට සමාජයක් වශයෙන් අප මෙකී දේශපාලකයාහට බල කළ යුතුය. එමෙන්ම අබාධිත සෙබළා දෙවියකු ලෙස නොව අප සමාජයේ වන් සුවිශේෂී මනුෂ්‍යයකු ලෙස ඔහු සමාජයේ ඔසවා තැබිය යුතුය. කොටින්ම මෙකී රෝගය සම්බන්ධයෙන් අප වහා දේශපාලන ළය විරේකයක් සිදු කළ යුතුය එවිට සමාජයට බලහත්කාරයෙන් බෝකර ඇති රණවිරුගාය නිට්ටාවට සුවවනු ඇත.

නීතීඥ තිලංග ශ්‍යාමජිත් ෆොන්සේකා මෙල්බන් සිට ලියයි

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්