පුත්තලම වනාතවිල්ලුව අරුවක්කාලු කසල අංගනය වෙත කසල රැගෙන පැමිණි ටිපර් රථ 28 කට අංගනයට ඇතුළු වීමට ඉඩ නොදෙමින් ප්රදේශවාසින් විරෝධතාවයක නිරත වෙමින් සිටිනවා. අද (01) අලුයම් කාලයේ සිට මෙම විරෝධතාවය පැවැත්වෙන අතර අරුවක්කාලු කසල අංගනය ඉදිරිපිට මෙම විරෝධතාවය පැවැත්වෙන බව වනාතවිල්ලුව පොලිසිය සඳහන් කළා.
අරුවක්කාලු කසල අංගනය හේතුවෙන් තමන්ගේ ජන ජීවිතයට තර්ජන එල්ල වී ඇති බව සේරක්කුලිය ධීවර ගම්මානයේ පදිංචිකරුවන් පසුගිය 29 වැනිදා වනාතවිල්ලුව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.
ඊයේ (30) දහවල් වනාතවිල්ලුව නගරයේදී විරෝධතාවයක්ද පැවති අතර, පසුව ඔවුන් විසින් සකස් කරන ලද සංදේශයක්ද වනාතවිල්ලුව ප්රාදේශීය ලේකම්වරයා වෙත බාර දීම සිදු කරන ලදි.
අද අලුයම් කාලයේ කසල රැගෙන පැමිණි ටිපර් රථවල මග හරස් කර ඇති ගම්වාසීන් එම රථවලට අංගනයට ඇතුළු වීමට ඉඩ නොදී විරෝධතාව ආරම්භ කර තිබෙනවා. මෙම විරෝධතාවයට වනාතවිල්ලුව ප්රාදේශීය සභාවේ සභාපති සමන්ත මුණසිංහ ඇතුළු පිරිසක් එක්ව සිටිනවා.