නවතම පුවත්

ආටෝප සාටෝප බහුල වෙසක් දිනයක් නොව සැබෑම වෙසක් පෝ දිනයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

තථාගත සම්මා සම්බුදු සම්බුදුරජාණන් වහන්සේගේ අපරිමිත සම්බුදු ගුණයන් සිහිපත් කරමින් ප‍්‍රතිපත්ති පූජාවෙන් හා ආමිස පූජාවෙන් උන්වහන්සේ පිදීමට බෞද්ධ ජනයා පෙළගැසෙන එ් පුණ්‍යවන්ත දිනය වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය යි.

මෙවර වෙසක් පොහෝ දිනය අන් කවරදාටත් වඩා සුවිශේෂී වූ වෙසක් දිනයක් බවට පත් වී ඇත. මන්දයත් කොවිඞ් 19 වසංගතය විසින් අප රට ඇතුළු ලෝකයම පාහේ සිය අණසකට යටත් කරගෙන ඇති අවස්ථාවේ තථාගතයන් වහන්සේගේ උතුම් තෙමඟුල සැමරීමට සිදුව ඇති බැවිනි.

වෙනදා මෙන් ආටෝප සාටෝප බහුල වෙසක් දිනයක් නොව සැබෑවට ම වෙසඟ සැමරීමට ස්වභාව ධර්මයෙන් ඉඩ කඩ සපයා දී ඇති බව අපගේ අදහස යි. තථාගතයන් වහන්සේ විසින් ආමිස පූජාවට වඩා ප‍්‍රමුඛතාවය ප‍්‍රතිපත්ති පූජාවට ලබාදී ඇත්තේ ප‍්‍රතිපත්ති පූජාව නිවන් මඟ පසක් කෙරෙන මාවත වන බැවිනි.

එබැවින් මෙවර සකල ලෝකවාසී බෞද්ධ ජනතාවට සැබෑවට ම ප‍්‍රතිපත්ති පූජාවෙන් තථාගතයන් වහන්සේ පිදීමේ අනර්ඝ අවස්ථාව සැලසී ඇත. රටේ පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් කිසිදු විහාරස්ථානයක සුපුරුදු වෙසක් පොහෝ දින ආගමික වැඩ වැඩසටහන් නොපැවැත්වෙන නමුදු සීලයෙහි වටිනාකම හා ආධ්‍යාත්මික දියුණුව අපේක්ෂා කරමින් ධර්ම මාර්ගයේ හැසිරෙන බෞද්ධ ජනයාට සිය නිවස උපෝසථ සමාදානය සඳහා සුදුසු ම ස්ථානය වනු නොඅනුමාන ය. ධර්මශාලාවේ බිත්තියකට හෝ කණුවකට හෝ හේත්තුවී නිදි කිරනවාට වඩා, කල්ලි කණ්ඩායම් ගැසී පිසුනා වාචා, සම්ඵප්පලාපා දොඩනවාට වඩා එය ඉතා ප‍්‍රායෝගික වනු ඇත.

විශේෂයෙන් ම මෙම  වෙසක් සමය පුරාවටමත් ඉන්පසුවටත් ඔබේ ආධ්‍යාත්මික දියුණුව සඳහා ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන ධර්ම පර්යායක් මතක් කර දීමට අදහස් කරමි. සංයුක්ත නිකායේ ඛන්ධ වග්ගයෙහි නකුලපිතු වග්ගයට අයත් පළමු සූත‍්‍ර දේශනාව නකුලපිතු සූත‍්‍රය යි.

බුදුරජාණන් වහන්සේ සුංසුමාරගිරි නම් නුවර භේසකලා නම් වූ මිගදායෙහි වැඩ සිටි සේක. නකුලපිතා බුදුරජාණන් වහන්සේ හමුවීමට පැමිණි උන්වහන්සේට වැඳ නමස්කාර කොට එකත් පසෙක හිඳ තමාගේ ශාරීරික දුබලතාවයන් ප‍්‍රකාශ කරන්නට විය. තමා දැන් ඉතා මහලූ බවට පත්ව ඇති බැවිනුත්, ඉතා වයෝවෘද්ධ බවට පත්ව ඇති බැවිනුත් නිතර නිතර බුදුරජාණන් වහන්සේ මුණ ගැසීමට හා මහා සංඝරත්නය සමග දහම් සාකච්ඡාවන් සිදු කිරීමට පැමිණීමට නොහැකි බව ද දන්වා සිටියේය.

අනතුරුව ඔහු බුදුරජාණන් වහන්සේ ගෙන් ඉල්ලීමක් සිදු කරන ලදී. එනම් ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස මට අනුකම්පා පිණිස දීර්ඝ කාලයක් හිත සුව පිණිස පවතින අනුශාසනාවක්, අවවාදයක් කර වදාරණ සේක්වා යි යනුවෙනි.  එහිදී බුදුරජාණන් වහන්සේ නකුල පිතා අරමුණු කරගෙන මෙකී සුවිශේෂී ධර්ම පර්යාය දේශනා කරන ලදී. බුදුරජාණන් වහන්සේගේ දේශනාව වූයේ, ලෙඩවෙන ශරීරයක් උරුම මිනිසා සිත ලෙඩ නොකර ගන්නා වූ ප‍්‍රතිපදාවක් දියුණු කිරීමට මහන්සි විය යුතු බවයි.

මේ ගත වන්නේ වසංගත රෝග පීඩා සහිත සමයකි. බොහෝ දෙනෙකු ශරීරය ලෙඩ වීමට නොදී ආරක්ෂා කර ගැනීමට මහත් වෙහෙසක්, මහන්සියක් දරනු ලබයි. එය සැබවින් ම පැසසීමට යුතු කරුණකි. එනමුත් ඇතැමුන් සෞඛ්‍ය උපදෙස් පවා නො පිළි ගනිමින් කටයුතු කිරීම ද කණගාටුවට කරුණක් වන්නේය. කෙසේ වෙතත් ගත ලෙඩ රෝගවලින් ආරක්ෂා කර ගැනීමට දරන වෙහෙස මහන්සිය සිත නිරෝගී බවට පත්කර ගැනීම සඳහා කොපමණ දුරට දරන්නේ ද යන්න ගැටළු සහගත ය.

ගත රෝගී වීම වැලැක්වීමට සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව විවිධ ක‍්‍රියාමාර්ග ගන්නා මිනිසා සිත රෝගී වීමෙන් වළක්වා ගැනීමට ගන්නා වූ ක‍්‍රියාමාර්ගය කුමක්ද. සිත නිරෝගි කර ගැනීමේ ප‍්‍රතිපදාව බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ පෙන්වා දී ඇත. එම ප‍්‍රතිපදාව වඩමින්, දියුණු කරමින් ලෙඩ නොවන සිතක් පවත්වා ගැනීමට සියලූ බෞද්ධ ජනතාව කටයුතු කළ යුතු ය. මේ උතුම් වෙසක් පොහෝ දින අප ඔබට යෝජනා කර සිටින්නේ රටේ පවතින වසංගත රෝගී තත්ත්වය තුරන් කර ගැනීමට රජය හා සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් අවවාද අකුරටම පිළිගනිමින් ශරීරය (ගත ආරක්ෂා කරගන්නා සේම බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය තුළ ප‍්‍රායෝගික ව ජීවත් වෙමින් ලෙඩ නොවන නිරෝගිමත් සිතක් සකස් කරගන්නා ප‍්‍රතිපදාව දියුණු කිරීමට උත්සුක වන ලෙසයි.

මන්දයත් ලෙඩ නොවන, නිරෝගිමත් සිත ඔබ නිවන් මඟ වෙත යොමු කරනු නිසැක වන බැවිනි.

කැලණිය විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්ය  ශාස්ත්‍රවේදීරාජකීය පණ්ඩිතලත්‍රිපිටක විශාරද පුජ්‍ය බෝපැත්තේ සෝමානන්ද හිමි :

සාකච්චාවක් ඇසුරින් සකස් කලේ – ජනක හෙට්ටිආරච්චි

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්