නවතම පුවත්

ඇමෙරිකාවෙන් උපහාර ලැබූ දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයා

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලාංකික තරුණ තරුණියන් බොහෝ දෙනෙකු මෙන්ම , සුමේධ ප්‍රේමරත්න නම් තරුණයාද උසස් ජීවන මට්ටමක් හා සෞභාග්‍යමත් අනාගතයක අපේක්‍ෂාවෙන් , මීට වසර ගණනාවකට උඩදී , සිය උපන් බිම හැර විදෙස් රාජ්‍යයක් වෙත පියා සැරීය .

කුඩා අවදියේ සිටම තමා තුල පැවති , අප්‍රතිහත කැපවීම හා නොපසුබස්නා උත්සාහය වැනි වටිනා ගුණාංග හේතුවෙන් ඉතා කෙටි කලක් ඇතුලත එම විදේශය තුලද ශක්තිමත් ආර්ථික පදනමක් ගොඩනගාගැනීමට සුමේධ සමත්විය . තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රය කෙරෙහි ඔහු තුල පැවති සුවිශේෂී කුසලතාවයද ඊට බෙහෙවින් ඉවහල් විය .

සුමේධ මේවනවිට , ඇමෙරිකාවේ , මේරිලන්ඩ්හි මෝටර් රථ පාලනාධිකාරියේ සහකාර අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරමින් සිටී . එම පාලනාධිකාරියේ තාක්‍ෂණික සේවා අංශය ක්‍රියාත්මක වන්නේ සුමේධගේ මෙහෙයවීම යටතේය .

වඩාත් සුවිශේෂී කරුණ වන්නේ මේ වනවිට , සුමේධ , තම ක්ෂේත්‍රය හරහා , මේරිලන්ඩ් ප්‍රදේශයේ පමණක් නොව සමස්ථ ඇමෙරිකාවේම අවධානය දිනාගෙන සිටීමයි .

ඔහු මෑතකදී ” වසරේ විශිෂ්ඨතම සේවකයා”ට හිමි සම්මානයෙන්ද පිදුම් ලද අතර , මෙහිදී ඇමෙරිකාවේ මෝටර් රථ පරිපාලන සංගමයෙන්ද ඔහුට විශේෂ ඇගයීමක් හා උපහාරයක් පිරිනැමිණි . මුළු උතුරු ඇමෙරිකානු කලාපයම ආවරණයවන ලෙස පාරිභෝගික සේවා සැපයීමේදී සුමේධ ඉටුකළ කාර්යභාරයද , ඔහුගෙන් නියෝජිතායතනයට ලැබුණු ධනාත්මක බලපෑමද මෙන්ම ඔහුගේ ආදර්ශමත් සේවාවද අගයා මෙම උපහාරය පිරිනැමීමට අදාළ සංගමය කටයුතු කර තිබිණ .

මෙලෙස ඇමෙරිකාව තුල ඉතාමත් සාර්ථක දිවියක් ගත කරමින් , දියුණුවේ හිනිපෙත්ත වෙත ගමන් කරමින් සිටියද , සුමේධ කිසිවිටක තම උපන් බිම අමතක නොකළේය . ශ්‍රී ලංකාවේ ආර්ථිකය බරපතලම කඩාවැටීමකට මුහුණ දුන් අවස්ථාවේ සිය දියණියද සමග එක්ව දුකට පත් ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සේවය කිරීමට සුමේධ ඉදිරිපත්විය . ඒ අනුව ප්‍රමාණවත් ලෙස මුදල් ආධාරද එකතුකරගනිමින් , මෙරටට පැමිණ , මෙරට ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් විශාල පිරිසකට මූල්‍ය වශයෙන් උපකාර කිරීමටද සුමේධ පියවර ගත්තේය .

කෑගල්ල දැදිගම ප්‍රදේශයේ ඉපිද හැදී වැඩුණු සුමේධ ප්‍රේමරත්න , දැදිගම ප්‍රාථමික විද්‍යාලයෙන් අධ්‍යාපනය ආරම්භ කළ අතර පසුව ස්වර්ණජයන්ති මහා විද්‍යාලයට ඇතුලත්විය . අවසානයේ කෑගලු විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය අවසන් කළ සුමේධ , කලා විෂය ධාරාව ඔස්සේ කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත්විය .

එතකින් නොනැවතුණු සුමේධ , NIBM වෙතින් පරිගණක විද්‍යා ඩිප්ලෝමාවක්ද හැදෑරු අතර තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ඔස්සේ වැඩිදුර උසස් අධ්‍යාපනය හැදෑරීමටද ඔහු තීරණය කළේය. ඒ අනුව ඔස්ට්‍රේලියාවේදී සිය උපාධිය සම්පූර්ණ කල සුමේධ තම විවාහයෙන් පසු ඇමරිකා එක්සත් ජනපදයට යාමට තීරණය කළේය . අවසානයේ තම ඇමෙරිකානු සිහිනයද ජයගත් සුමේධ මේ වනවිට එම සිහිනය ජයග්‍රාහී යතාර්ථයක් බවටද පත්කරගෙන අවසන්ය .

දැදිගම සිට ඇමෙරිකාව දක්වා තමා මෙතෙක් ආ ගමන් මග ගැන මතක අවදිකරමින් සුමේධ අප සමග මෙසේ පැවසීය
“අපි ඇමෙරිකාවට ඇවිත් දැන් වසර 17 ක් පමණ වෙනවා ,එය කිසිසේත්ම පහසු ගමනක් නොවෙයි . මම පටන්ගත්තේ පහලම තැනින් . මම මගේ පළමු රැකියාව කලේ ඇමතුම් මධ්‍යස්ථානයක .එලෙස මා වසර දෙකක් පමණ පාරිභෝගික සේවා අංශයේ වැඩකලා . පසුව ඩෙස්ක්ටොප් සහාය ඉංජිනේරුවෙකු ලෙස fda සමග එක්වීමට මට අවස්ථාවල උදාවුනා .

එතැන් සිට පියවරෙන් පියවර වෘත්තීය ඉණිමගේ ඉහළට ගිය සුමේධ මේ වනවිට සියයකට අධික කාර්ය මණ්ඩලයක් මෙහෙයවමින් තොරතුරු තාක්ෂණ සහකාර අධ්‍යක්ෂ ලෙස මේරිලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවය කරයි.

“මීට අවුරුදු ගාණකට කලින් , මුල්ම වතාවට මම ඇමෙරිකාවට ඇවිත් ගුවන් යානයෙන් එළියට බහිනකොට මේ රට ගැන පැහැදිලි අවබෝධයක් මට තිබුනේ නැහැ . අවස්ථාවන්ගෙන් සපිරුණු දේශයක් ලෙස , බොහෝ දෙනෙකු ඇමෙරිකාව හැඳින්වුවත් ඒ ගැනද පැහැදිලි අවබෝධය මට තිබුනේ නැහැ . නමුත් දැන් මට ඒ බව වැටහී තිබෙනවා . ඇමෙරිකාවට පැමිණි පසු , ඔබ කවුරුන්ද යන්න වැදගත් වෙන්නේ නැහැ කැපවීම සහ උත්සාහය තිබෙනවානම් ඕනෑම කෙනෙකුට , සංක්‍රමණිකයෙකුට පවා තමන්ගේ ඉලක්කයන් සපුරා ගැනීමට මේ රට තුල අවස්තාව තිබෙනවා . ඇත්තෙන්ම මෙය අවස්ථාවන් පිරුණු දේශයක් (land of opportunity).

.

අමෙරිකාවෙන් තමාට ලැබුණු උපහාරය හා සම්මානය ගැන කෘතඥතාව පළ කළ සුමේධ, තමාට ලැබුණු එම සම්මාන, “සම්පූර්ණ පුදුමයක්” බව අප වෙත පැවසීය .

මම කවදාවත් මේ වගේ සම්මාන , උපහාර බලාපොරොත්තු වුණේ නැහැ, නමුත් එය ඇත්තෙන්ම සතුටක් සහ එවැන්නක් මා හට ලබාදීම පිළිබඳව හදවතින්ම ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. මම මගේ ජීවිතය පුරා වෙහෙස මහන්සි වී වැඩ කලා , කැපවීම සහ නොපසුබට උත්සාහය මා තුල කවදත් තිබුනා . මට ලැබුණු මේ සම්මානය , මා තුල තිබු එම ගුණාංගයන් වෙනුවෙන් ලැබුණු සංකේතයක් වගෙයි.

ජීවිතය ජයගැනීමට තමාට සුළුවෙන් හෝ උදව්වක් උපකාරයක් කල සෑම කෙනෙකුවම සුමේධ ඉතා කෘතඥපූර්වකව සිහිපත් කරයි . එසේම තමා ගොඩනැගුනු , හැදී වැඩුණු සමාජයට නැවත පෙරලා යමක් ලබා දීය යුතු බවද ඔහු තරයේ විශ්වාස කරයි . එසේම තමා තුල ඇති එම ගුණාංග හා වටිනාකම් සුමේධ තම දියණිය රිත්මා වෙතද එලෙසින්ම ලබා දී තිබීම සුවිශේෂී කරුණකි .

සුමේධගේ දියණිය වන රිත්මා ද අනුන්ගේ දුකේදී උණුවෙන හිතක් ඇති , සමාජ සේවය වෙනුවෙන් කැපවී කටයුතු කරන තරුණියකි .

අඩු ආදායම්ලාභී පවුල්වලට අයත් ප්‍රාථමික වයස්වල සිසුන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා සපුරාලීම ඉලක්කර ගනිමින් බිහි කර ඇති Donate for Dreams නම් සංව්ධානය හරහා සුමේධ තම දියණියගේ සමාජසේවා වැඩසටහන් සඳහා උපරිම සහය ලබාදෙ .

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ගැන ආරංචි වූ වහාම , සුමේධ සිය දියණිය වන රිත්මාට ශ්‍රී ලංකාවේ සංචාරයක් සම්බන්ධීකරණය කිරීමට සහය දක්වන්නේ ඒ අනුවය . ඒ අනුව දෙදෙනාම එකතුවී , අරමුදල් රැස් කිරීමෙන් පසු, මෙරටට පැමිණ මෙරට දිළිඳු පවුල්වල ළමුන්ට පාසල් උපකරණ ලබා දීමටත් , අනාථ නිවාසවලට ආහාර සහ වෙනත් ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමටත් , විවිධ අවශ්‍යතා ඇති බොහෝ අසරණ ශ්‍රී ලාංකිකයින් රැසකට ආධාර උපකාර කිරීමටත් පියවර ගත්හ.

යමෙකුගේ කඳුළු පිස දමා ඔවුන්ගේ මුහුණට සිනහවක් ගෙන ඒමට ඔබට හැකි නම්, සැබෑ සාර්ථකත්වය ඇත්තේ එතැන බව තමාගේ පියා සැමවිටම පාහේ සඳහන් කල බව සුමේධ අප සමග පැවසීය .” ‘තාත්තගේ මේ කතාව මම ඉහළින්ම විශ්වාස කරනවා , දැනටත් මා වැඩකටයුතු කරන්නේ තාත්තාගේ එම අදහස මත පිහිටා සිට’යැයිද සුමේධ මෙහිදී හැඟුම්බරව පැවසීය

අප සමග පැවති පිළිසඳර නිමාකරමින් සුමේධ ප්‍රේමරත්න , මෙසේ තම ජීවන ගමන තුල ඉගෙනගත් , අවබෝධ කරගත් සුවිශේෂී අත්දැකීම් හා කරුණු කිහිපයක් අප ඉදිරියේ තැබීය

“ජීවිතය සාර්ථක කරගැනීමටනම් කැපවීම, සහ විනය තරම් වටිනා වෙනත් දෙයක් නැහැ . ඒ ගුණාංග තමයි අද මට මේ ඉන්න තැනට එන්න උදව් වුණේ,

එසේම ශ්‍රී ලාංකිකයන් වශයෙන්, අපට විශාල දේවල් කිරීමට හැකියාව, සහ ශක්තිය තියෙනවා . ඒ ගැන අප තුල විශ්වාසයක් ඇති කරගත යුතුයි . අප භාරගන්න රාජකාරිය නිවැරදිව ඉටු කිරීමට අප පියවර ගත යුතුයි .

එසේම ඔබ ශ්‍රී ලංකාවෙන් පිටත් යාමට තීරණය කරන්නේ නම්, සැමවිටම තම උපන්බිම , ශ්‍රී ලංකාව ඔබේ හදවතේ වටිනාම තැනක රඳවා ගන්න අමතක කරන්න එපා. ඔබ නව ජීවිතයක් සෙවීම සඳහා ඔබේ කූඩුවෙන් පිටව යන විට ඔබේ දෙමාපියන්ව මතකයේ රඳවාගන්නා සේම තම උපන්බිම ගැනත් මතකය , ආදරය සිතේ සැමදා රඳවාගන්න.

සෑම විටම ඔබේ සාර්ථකත්වය සඳහා අවංකව කටයුතු කරන්න, ඔබ කොතැනක සිටියත් ශ්‍රී ලංකා ධජය ඉහළට හා ආඩම්බරයෙන් ඔසවන්න.”

සටහන – පැතුම් වික්‍රමරත්න

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්