ඉන්දීය කොංග්‍රසයේ ‘පවුල් පාලනය’ අවසන් ?

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ප්‍රාන්ත මැතිවරණ පරාජයෙන් පසු කොංග්‍රස් පක්ෂයේ නායිකා සෝනියා ගාන්ධි, පුතු රාහුල් ගාන්ධි සහ දියණිය ප්‍රියංකා ගාන්ධි ඔවුන්ගේ තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

සෝනියා, රාහුල් සහ ප්‍රියංකා කොංග්‍රස් පක්ෂයේ ඔවුන්ට හිමි තනතුරුවලින් ඉවත්වීමට තීරණය කළ බව පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැනුම් දී ඇති අතර, කෘත්‍යාධීකාරී මණ්ඩලය අද (13) සවස රැස්වී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතව තිබුණි. ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන බලවේගය ලෙස සැලකෙන්නේ කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයයි.

පක්ෂයේ තමන්ට හිමි තනතුරුවලින් වහාම ඉල්ලා අස්වීමට සෝනියා, රාහුල් සහ ප්‍රියංකා තීරණය කළේ පසුගිය දා නිමාවට පත්වුණු ප්‍රාන්ත මැතිවරණ ප්‍රතිඵල අනුව කොංග්‍රස් පක්ෂය ප්‍රබල ලෙස පරාජය වීම හේතුවෙනි.

ප්‍රාන්ත මැතිවරණ පැවැත්වූයේ උත්තර් ප්‍රාදේශ්, පන්ජාබ්, උත්තර්කාන්ද්, මනිපූර් සහ ගෝව යන ප්‍රාන්තවලය. උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය විශිෂ්ඨ ජයක් හිමි කර ගත්තේය.

උත්තර ප්‍රදේශ් යනු ඉන්දියාවේ වැඩිම ජනගහනයක් වෙසෙන ප්‍රාන්තයයි. උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණයේදී කොංග්‍රස් පක්ෂය මෙහෙයවීම කළේ රාහුල් ගාන්ධි සහ සොහොයුරිය ප්‍රියංකා ගාන්ධි වද්‍රා ය.

පන්ජාබ් ප්‍රාන්තය ‘කොංග්‍රස්’ පක්ෂය සතුව පැවැතියත්, මෙවර මැතිවරණයේදී, කොංග්‍රසයට බලය අහිමි විය. මැතිවරණය ජයග්‍රහණය කළේ දූෂණ විරෝධී ආම් ආද්මී පක්ෂයයි. උත්තරකාන්ද්, මනිපූර් සහ ගෝව යනක ප්‍රාන්තවල බලය තහවුරු කර ගැනීමට කොංග්‍රස් පක්ෂය උත්සාහ කළත් මෝදිගේ භාරතීය ජනතා පක්ෂය හමුවේ එම උත්සාහය ව්‍යර්ථ වූ බව ඡන්ද ප්‍රතිඵලවලින් පෙනී ගොස් තිබේ.