ඉන්ධන බෙදාහැරීම අධීක්‍ෂණයට රාජ්‍ය අමාත්‍යාංශයක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්ධන පිරවුම්හලවල ඉන්ධන බෙදාහැරිම් කටයුතු අධීක්ෂණය කිරීම සඳහා සහය ලබාදෙන ලෙස බලශක්ති අමාත්‍යාංශය විසින් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව ඉන්ධන පිරවුම්හල් හරහා ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය විධිමත්ව සිදුවන බවට සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශිය ලේකම්වරුන් මගින් අධීක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් සකස් කරන ලෙසයි බලශක්ති අමාත්‍යාංශය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇත්තේ.

ඊට අදාළව ප්‍රාදේශීය කළමනාකරුවන් සහ ඉන්ධන පිරවුම්හල් හිමියන් සමග සාකච්ඡා කර සුදුසු වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීම සදහා සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශිය ලේකම්වරුන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවයි ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එන් එච් එම් චිත්‍රානන්ද නෙත් නිවුස් වෙත සදහන් කළේ.

පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ ආනයනය කරන සීමිත ඉන්ධන තොග මනා කළමනාකරණයකින් යුතුව හඳුනාගත් අත්‍යවශ්‍ය ආර්ථික කටයුතු සඳහා ලබාදී ඉතිරි ඉන්ධන තොග ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධනහල් වෙත ලබාදීම බලශක්ති අමාත්‍යාංශයේ මැදිහත්වීම මත සිදු වනවා.

කෙසේවෙතත් එම ඉන්ධනහල්වලින් පාරිභෝගිකයින් වෙත ඉන්ධන බෙදාහැරීමේදී නොයෙකුත් අඩුපාඩු සහ අක්‍රමිකතා සිදුවන බවට වාර්තා වීම හේතුවෙන් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ සහය ලබාගන්නා බවයි බලශක්ති අමාත්‍යාංශය සදහන් කළේ.