එක්ස්ප්‍රස් පර්ල් සුන්බුන් ඉවත් කිරීම  දින 120කින් අවසන්

Picture of Roshan

Roshan

දම්පත් රණසිංහ 
කොළඹ වරාය ආසන්නයේ දී ගිනි ගැනීමකට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් සහ විනාශ වූ කොටස් ඉවත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර දින 120කින් එම කටයුතු නිම කිරීමට නියමිතව තිබේ.
නෞකාවෙන් සිදුවූ හානියේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අධිකරණ ඇමති අලි සබ්රි මහතා කළ කරුණු ඉදිරිපත් කිරීමේ මේ බව සඳහන් වී ඇත.
සුන්බුන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය හේතුවෙන් තවදුරටත් සමූද්‍රීය දූෂණයක් ඇති නොවන බවට සහතික කර ගැනීම පිණිස එම ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම සඳහා වෙළෙඳ නාවික මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්ගේ සභාපතිත්වය යටතේ අදාළ ආයතනවල නියෝජිතයින්ගෙන් සමන්විත අධීක්ෂණ කමිටුවක් පත් කර ඇත.
මේ වන විට අගතියට පත් සියලුම ධීවරයින්ට පළමු වන්දි මුදල් වාරිකය ගෙවා තිබෙන බව අධිකරණ අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයට දන්වා තිබේ.
කළුතර දිස්ත්‍රික්කයට අදාළව මසුන් ඇල්ලීමේ තහනම සම්පූර්ණයෙන් ඉවත් කර ඇත.
සුන්බුන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය නිම වීමෙන් පසුව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ද එකී තහනම ඉවත් කරනු ඇති බව අධිකරණ අමාත්‍යවරයා පවසා ඇත.
ධීවර හා සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියේ හිමිකම්වල කොටසක් වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 3.7ක් ශ්‍රී ලංකා රජයට බැර කර ඇත.
 ඉතිරි හිමිකම ලබා ගැනීම සඳහා පී ඇන්ඩ් අයි සමාගම සමඟ සාකච්ඡා පවත්වයි.
මුහුදු ජීවීන්ගේ ජීව සාම්පල සහ අනෙකුත් සාම්පල විශ්ලේෂණය සඳහා විදේශීය පර්යේෂණාගාර වෙත යොමු කර ඇත.
ඕස්ට්‍රේලියාවේ ස්පාර්ක් හෙල්මෝර් සමාගම විසින් පරිසර හානි හිමිකම් ඉල්ලීම් සම්බන්ධයෙන් නීති උපදෙස් සපයනු ලබයි.