ඕස්ට්‍රේලියානු හා දකුණු ආසියානු කලාපීය සම්මන්ත්‍රණය ඇමතීමට ශ්‍රී ලංකා සංචරණ සභාපතිනියට ආරාධනා !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ඕස්ට්‍රේලියානු ආයතනය (වික්ටෝරියා ප්‍රාන්තය) විසින් ශ්‍රී ලංකා සංචරණයෙහි (Sri Lanka Tourism) සභාපතිනී   කිමාලි ප්‍රනාන්දු මහත්මිය වෙත ‘ශ්‍රී ලංකාවේ භූ-දේශපාලන ක්‍රමෝපාය හා ඕස්ට්‍රේලියාව සමග ද්වී පාර්ශවික වෙළෙඳ හා ආයෝජන අවස්ථා’ මාතෘකාව යටතේ Online තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන සම්මන්ත්‍රණයෙහි සාකච්ඡා මණ්ඩල සාමාජිකාවක ලෙස සහභාගී වීමට ඇරයුම් කර තිබේ.

සම්මන්ත්‍රණ හතරකින් යුතු සම්මන්ත්‍රණ මාලාවක එක් වැඩසටහනක් වන මෙය ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ඕස්ට්‍රේලියානු ආයතනය (වික්ටෝරියා ප්‍රාන්තය) විසින් සංවිධානය කරන අතර, ශ්‍රී ලංකාව හා ඉන්දියාව සමග ඕස්ට්‍රේලියාව අන්තර් රාජ්‍ය සබඳතා පවත්වාගෙන යන ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීම ඉලක්කගත කෙරේ.

ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ඕස්ට්‍රේලියානු ආයතනය (වික්ටෝරියා ප්‍රාන්තය) ශ්‍රී ලංකාව හා ඉන්දියාව සමග ඕස්ට්‍රේලියාව ජාත්‍යන්තර සබඳතා පවත්වා ගෙන යන ආකාරය දෘෂ්ඨි කෝණයන් තුනක් ඔස්සේ විග්‍රහ කරගැනීමට මෙහිදී ඉලක්කගත කරනු ඇත. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයෙහි දැවැන්ත වෙනසක් සිදුකිරීමට හා ශ්‍රී ලංකා සංචරණය වෙනුවෙන් ක්‍රමෝපායික ගෝලීය සන්නිවේදන ව්‍යාපෘතියක් නිර්මාණය කිරීමට කැපවීමෙන් කටයුතු කරමින් සිටින ඉදිරිපෙළ සාමාජිකාවක වන කිමාලි ප්‍රනාන්දු මහත්මිය මෙහිදී ඉන්දු-පැසිෆික් කලාපය තුල පවත්නා භූ-දේශපාලන ගැටළුකාරීත්වයන්, පශ්චාත් කොවිඩ්-19 පසුබිමක් තුල දකුණු ආසියාව හා ඕස්ට්‍රේලියාව අතර වෙළෙඳ හා ආයෝජන සබඳතා පිළිබඳව ඇගේ අදහස් දක්වනු ඇත. එමෙන්ම ඇය මෙම රාජ්‍යයන් දෙක අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳව අදහස් දක්වනු ඇති අතර, එම සබඳතාවයන් තව දුරටත් සවිබලගන්වන්නට ජාත්‍යන්තර සිසුන්, සංස්කෘතිය හා ක්‍රීඩාව සතු කාර්යභාරය විග්‍රහ කිරීමට නියමිතය.

සම්මන්ත්‍රණය මෙල්බර්න් නගරයෙහි සජීවී ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ විකාශය කරන අතර, මෙල්බර්න් නගරයෙහි නොමැති හා වෙනත් විදේශවල සිට සහභාගී වන පිරිස් වෙනුවෙන් 2021 ජූනි 29 අඟහරුවාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පස්වරු 5.00 සිට 7.00 දක්වා සජීවීව විකාශය කරන අතර, එය මෙරට ප්‍රෙක්ෂකයින්ට නැරඹීමට හැකි වන්නේ එදින පස්වරු 12.30 හා 2.30 (ශ්‍රී ලංකාවේ වේලාවෙන්) අතර කාලයේදීය. ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය හා දකුණු ආසියානු කලාපය නියෝජනය කරමින් ඕස්ට්‍රේලියාව හා දකුණු ආසියාව අතර දේශපාලන, ආරක්ෂක හා ආර්ථික සබඳතා සම්බන්ධව උනන්දු වන විශාල පිරිසකගේ සහභාගීත්වය මේ සඳහා ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු හා වෙළෙඳ දෙපාර්තමේන්තුවේ වික්ටෝරියා ප්‍රාන්ත කාර්යාලය, Global Victoria, Asialink Business, මෙල්බර්න් ශ්‍රී ලංකා ‍කොන්සල් ජෙනරාල් කාර්යාලය හා ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා වාණිජ මණ්ඩලය යන ආයතනයන් මෙම සම්මන්ත්‍රණය සඳහා ඔවුන්ගේ සහයෝගය ලබා දීමටද කටයුතු කරයි.

සරින්ද උණම්බුව (ප්‍රධාන විධායක නිලධාරී – MAS ක්‍රීඩා), කැළුම් ද සිල්වා (සභාපති – ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා වාණිජ මණ්ඩලය), ගරු කපිල ෆොන්සේකා (වික්ටෝරියා, දකුණු ඕස්ට්‍රේලියා හා තස්මේනියා ප්‍රාන්තයන්හි ශ්‍රී ලංකාවේ කොන්සල් ජෙනරාල්) හා අසංග අබේගුණසේකර (ලේඛක, විචාරක හා භූ – දේශපාලන විශ්ලේෂක) යන මහත්වරුන් මෙම සාකච්ඡා මඩුල්ලේ සෙසු අදහස් දක්වන්නන් වශයෙන් කටයුතු කරනු ඇත.

La Trobe විශ්වවිද්‍යාලයෙහි La Trobe Asia මණ්ඩපයෙහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය රෙබෙකා ස්ට්‍රාටිංග් විසින් මෙම සැසිය මෙහෙයවීමට නියමිතය.
ඕස්ට්‍රේලියා-දකුණු ආසියා සම්මන්ත්‍රණ මාලාව වැනි ක්‍රමෝපායික වශයෙන් ඉහළ වැදගත්කමක් ගන්නා අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙරටට ජාත්‍යන්තර අවධානය ලබාගැනීමේ උත්සාහයක ශ්‍රී ලංකා සංචරණය නිරතව සිටී. වර්තමානයේදී ශ්‍රී ලංකා සංචරණය, කොවිඩ් වසංගතයෙන් පසු සංචාරය කිරීමට හැකි හොඳම ගමනාන්තයක් වශයෙන් ශ්‍රී ලංකාව ඉස්මතුකර දක්වන්නට ඉතාමත් කැපවීමෙන් කටයුතු කරමින් සිටින අතර ඊට ක්‍රමෝපායික වශයෙන් සුවිශේෂී වැදගත්කමක් ලබා දී තිබේ.