කමිටුවෙන් ඉල්ලා අස්වූ වෛද්‍යවරු දිගටම සෞඛ්‍ය සේවයට දායකත්වය දෙනවා – සුදර්ශනී

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සහ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා හා , විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා  යන  තිදෙනා  කොවිඩ් මර්දන තාක්ෂණ කමිටුවෙන් ඉවත් වුවත් ,ඔවුන් සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් දායකත්වය දිගටම දක්වන බව ප්‍රාථමික සෞඛ්‍ය සහ කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කර සිටී

කොවිඩ් මර්දන තාක්ෂණික කමිටුවේ සාමාජික , නිර්වින්දන වෛද්‍ය සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා. සිය ඉල්ලා අස්වීම පිළිබඳව  ඊයේ බළධාරීන්ට දැනුම් දී ඇත  .ඔහු සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පවසන්නේ වසර එකහමාරක පමණ කාලයක් එම කමිටුව නියෝජනය කළ නමුත් කොවිඩ් වසංගත මර්දනයට අදාලව සැළකිය යුතු සේවයක් සිදු කිරීමට නොහැකි වූ බවයි. තවදුරටත් එම කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමෙන් කිසිදු යහපත් සිදුවේ යැයි නොසිතෙන බැවින් ඉල්ලා අස්වීමට තීරණය කළ බව වෛද්‍යවරයා පවසා ඇත .

මීට පෙර විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාද ඉල්ලා අස්වීමට කටයුතු කළ අතර ඔහු ඊට හේතුව ලෙස සඳහන් කර තිබුණේ කොවිඩ් වසංගත මර්දනය සම්බන්ධයෙන් ගැටලු ගණනාවක් මතුව ඇති බවයි. මේ නිසා ඉදිරියේදී බරපතල තත්වයක් ඇතිවිය හැකි බවත්, එවැනි තත්වයක් ඇති වුවහොත් එහි වගකීම දැරීමට නොහැකි බවත් ඔහු පවසා තිබිණි.

ආනන්ද විජේවික්‍රම මහතාට පෙර මහචාර්ය නීලිකා මලවිගේ මහත්මියද කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබිණි.