දම්පත් රණසිංහ
යාපනයේ ක්‍රියාත්මක තියුණු ආයුධ සන්නද්ධ කල්ලියක පහරදීමකින් තුවාල ලබා දින කිහිපයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය ගුරුනගර් හී පදිංචි තරුණයෙකුගේ දේහය ආදාහනය කිරීමෙන් පසු ඔහුගේ භෂ්මාවශේෂ රැගෙන නිරෝධායන ඇඳිරි නීතිය පවා උල්ලංගනය කරමින් සියයකට වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් පෙරහැරකින් රැගෙන යාමක් සම්බන්ධව විමර්ශනයක් ආරම්භකර තිබේ.
එම තරුණයාට කොවිඩ් ආසාදනය වී ඇති බවට ද තහවුරු වී තිබූ අතර ආදාහනය සිදුකර ඇත්තේ නිරෝධායන නීති අනුගමනය කරමිනි. එහෙත් පොලීසිය පවසන්නේ භෂ්මාවශේෂ අවසන් කටයුතු සදහා පෙරහැරින් රැගෙන යමින් සිටියදී පොලීසිය එය අතර මගින් නතර කිරීමෙන් පසු 15 දෙනෙකුගේ කණ්ඩායමක් විසින් එම භාෂ්මාවශේෂ රැගෙන අවසන් ආගමික කටයුතු සදහා ගිය බවය.
ඇදිරිනීතිය ක්‍රියාත්මක වෙමින් පැවැති කාලයක් තුළ එම පෙරහැර ගමන්කර ඇත්තේ හින්දු අවමංගල්‍යක් පැවැත්වෙන ආකාරයට බෙර වාදනය කරමින්ය. මලින් සැරසූ වාහනයක් මත භෂ්මාවශේෂ තබා දේහය රැගෙන යන ආකාරයට මෙහිදී රැගෙන යාම විශේෂත්වයකි.
යාපනය නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ මහතා සදහන් කළේ දින දෙකකට පෙර එම සිදුවීම වී ඇති අතර ඒ සම්බන්ධයෙන් තොරතුරු ලද වහාම පොලීසිය ක්‍රියාත්මක වෙමින් එම අවමංගල්‍ය පෙරහර නතර කිරීමට පියවර ගෙන ඇති බවත්ය.
මෙසේ ජනතාව ඒකරාශි වී අවමගුල් පෙරහරක් සංවිධානය කර ඇත්තේ 24 හැවිරදි තරුණයෙකුගේ මරණයක් සම්බන්ධයෙනි. එම තරුණයාද ප්‍රතිවිරුද්ධ කල්ලියක් නියෝජනය කරන්නෙක් බව පොලිස් විමර්ශන වලින් අනාවරණය වී ඇත. .