කොරෝනා කැලිෆෝනියා සහ වොෂිංටනට විශාල ව්‍යසනයක් – ට්‍රම්ප් ප්‍රකාශ කරයි

Picture of අසංක

අසංක

ඇමෙරිකාවේ කොවිඩ් 19 (කොරෝනා) මරණ සංඛ්‍යාව 419 දක්වා ඉහළ යාමත් සමග ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වොෂිංටන් සහ කැලිෆෝනියා ප්‍රාන්තවලට විශාල ව්‍යසනයක් ප්‍රකාශයට පත් කර ඇත.


ඒ අනුව එම ප්‍රාන්තවලට අතිරේකව ෆෙඩරල් ආධාර ලබා දෙන ලෙස ජනාධිපති ට්‍රම්ප් දන්වා ධවල මන්දිරය නිවේදනය කර ඇතැයි සී.ජී.ටී.එන් පුවත්සේවය වාර්තා කර තිබේ.


මෙයට පෙර නිව්යෝර්ක් ප්‍රාන්තය “විශාල ආපදා” කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබිණි.


කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්වු රටවල් අතර චීනය සහ ඉතාලියෙන් පසු එක්සත් ජනපදය දැන් ලොව තුන්වන ස්ථානයට පත්ව තිබේ. කොවිඩ් 19 රෝගීන් 33,546 ක් සහ මරණ 419 ඇමෙරිකාවෙන් වාර්තාවන බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ගණනය කිරීම් වල දැක්වේ.


කොවිඩ් වෛරස් පැතිරීම මැඩපැවැත්වීම සඳහා නිව්යෝර්ක්, කැලිෆෝනියා සහ වොෂිංටන් ප්‍රාන්තවල ජාතික ආරක්ෂක බලකාය ක්‍රියාත්මක කළ බවද ජනපති ට්‍රම්ප් නිවේදනය කර තිබේ.