කොළඹ ඉඳන් බදුල්ලට සැපට යන්න ‘ඇල්ල ඔඩෙසි’ අද සිට..

Picture of අසංක

අසංක

මෙරට ඉහළ සංචාරක ආකර්ශනය දිනා ගත් දුම්රිය ගමනාන්තයක් වන කොළඹ සහ බදුල්ල දක්වා නගරාන්තර අධි සුඛෝපභෝගී සති අන්ත ” ඇල්ල ඔඩෙසි ” දුම්රිය අද (13) පෙ.ව 5.30 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කෙරිණි.

ඒ ප්‍රවාහන ,මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.

මීට පෙර මෙම දුම්රිය මහනුවර සිට ඇල්ල දක්වා ධාවනය කෙරිණි. අද කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කළ මෙම බලවේග කට්ටල දුම්රිය මැදිරි 8 කින් සමන්විත ය. කලින් මුදල් ගෙවා මෙහි ආසන වෙන් කරගත යුතුවන අතර පළමු දෙවන සහ තෙවන පංතියේ ආසනවලින් දුම්රිය සමන්විත වේ.

දුම්රිය ගමන ආරම්භ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා “විදේශීය සංචාරකයින්ට පමණක් නොව දේශීය සංචාරකයන්ටත් විශේෂ අධි සුඛෝපභෝගී සංචාරක දුම්රිය සේවයක් ලබා දීම මෙහි ප්‍රධාන අරමුණ බවත් අද එහි පළමු පියවර වශයෙන් කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා දුම්රිය සේවයක් ආරම්භ කළ බවත් අනුරාධපුරය, යාපනය, බෙලිඅත්ත වැනි ප්‍රදේශ වලටත් ඉදිරියේදී මෙවැනි සති අන්ත අධි සුඛෝපභෝගී දුම්රිය සේවයක් යෙදවීමට බලාපොරොත්තු වන බවත් ප්‍රකාශ කළේය.මෙම ඇල්ල ඔඩෙසි දුම්රියේ ඇති සුවිශේෂත්වය නම් මහනුවර සිට බදුල්ල දක්වා ඇති ආකර්ෂණීය නැරඹුම් ස්ථාන වල දුම්රිය මද වේලාවක් නවතා මඟීන්ට එම ස්ථාන නැරඹීමට අවස්ථාව සලසා දීමයි.”