ගයාන් කුමාර වීරසිංහ
කොවිඩ් 19 වෛරසය වැලදුණු කී දෙනෙක් අපේ රටේ මේ වන විට සිටීදැයි නිෂ්චිතවම සදහන් කළ නොහැකිය. එහෙත් වෛරසය රටපුරා ව්‍යාප්ත වී රට ව්‍යවසනයකට ලක්නොවන්නට සෞඛ්‍ය බලධාරීන් සමග එක්ව රජය විසින් ගන්නා මෙහෙය අපමණය. ඒ සදහා දැවැන්ත ශක්තියක් වී සිටින්නේ හමුදාව සහ පොලීසියයි.
විසි නම වෙනිදා දහවල් වන විට මෙරටින් හදුනාගත් කොවිඩ් 19 වෛරසය වැලදුණු රෝගීන් ගණන 115 දෙනෙකි. රටපුරා රෝහල් කිහිපයකම කොවිඩ් 19 වෛරසය වැලදුණු බවට සැක කෙරන රෝගීන් 200 කට වැඩි පිරිසක් ද ප්‍රතිකාර ලබමින් සිටිති. ඒ සෑම අයෙක්ම කොවිඩ් 19 රෝගීන් යැයි කියන්නට බැරිය. ඒ ඔවුන් කොව්ඩි 19 රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් රෝහල්ගතවූවන් මිස සැබෑ ලෙසම කොවිඩ් 19 රෝගය වැලදුණු අය නොවන බැවිනි. ඒ අය සම්බනධයෙන්ද වෛද්‍ය පරීක්ෂණ සිදුවන අතර එහිදී කොවිඩ් 19 වෛරසය වැලදී නැතැයි සනාථවන රෝගීන්ව නැවතත් නිවෙස් වෙත පිටත් කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගනු ඇත.
එසේම විදේශගතව මෙරටට පැමිණි දහස් ගණනක්ද මේ වන විට නිරෝධායන මද්‍යස්ථානවලත් නිවෙස් වලත් නිරෝධායනය වෙමින් සිටිති. එසේම කොරෝනා 19 වෛරසය වැලදුණු බවට අනාවරණය වූ රෝගීන් සමග සම්බන්ධකම් පැවැති බවට බුද්ධි අංශ විසින් අනාවරණය කරගත් පුද්ගලයින්ද සැළකිය යුතු පිරිසක් මේ වන විට සිය නිවෙස්වල රැදෙමින් ස්යං නිරෝධානයටද යොමු වී සිටිති. ඒ අනුව ගත් කළ මේ වන විට මුළු රටේම නිරෝධායනයට ලක්වන පිරිස විසි දහසකට වැඩි මිස අඩු නැත.
ගැටළුව ඇත්තේ ඒ අය ගැන නොව. විදෙස්ගතව මෙරටට පැමිණ මෙතෙක් ඒ බව සෞඛ්‍ය අංශ වෙත හෝ පොලීසියට දැනුම් නොදී සැගවී සිටිමින් වෛරසය පතුරුවන පුද්ගලයින් ගැනය. ඒ අයට පොලීසියට තමන් ගැන තොරතුරු දැනුම් දෙන්නට යැයි කොතෙකුත් කීවත් එය තඹ දොයිතුවකට ගණන් නොගැනීම නිසාම දැන් සිදුව ඇත්තේ ගම්මාන පිටින්ම නිරෝධායනය කරන්නටය. මේ වන විට ගම්මාන පහක වැසියන් දහස් ගණනක් නිරෝධායනය වෙමින් ඇත්තේ එකෙක් දෙන්නෙක්ගේ නොමනා හැසිරීම නිසාය.
එම ගම්මාන වන්නේ යාපනය දිස්ත්‍රික්කයේ පිහිටි අරියාලේ, කළුතර දිස්ත්‍රික්කයේ අටලුගම, මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි අකුරණ , පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි කඩුමයන් කුලම සහ නාත්තන්ඩියේ නගරයෙන් කොටසකි.
කොවිඩ් 19 වෛරසය පැතිරයාම වැලැක්වීම වෙනුවෙන් මුද්‍රා තබා නීරෝධායනයට යොමුකරන අප් රටේ මුල්ම ගම්මානය වන්නේ යාපනය දිස්ත්‍රික්කයේ අරියාලේ ගම්මානයයි. එම ගම්මානයට මුද්‍රා තබා ගම්මානයම නීරෝධායනයට ලක්කරන්නේ ඉකුත් 21 වෙනිදා සිටය. ඊට මුල්වන්නේ කොවිඩ් 19 වැලදුණු දේවගැතිවරයෙක් ස්විට්සර්ලන්තයේ සිට පැමිණිමකි. එම දේවගැතිවරයා යාපනයේ මුල් පදිංචිකරුවෙක් වන ද්විත්ව පුරවැසියෙකි. යාපනය නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතා සදහන් කරනු ලැබුවේ දේවගැතිවරයා ස්විට්සර්ලන්තයේ සිට මෙරටට පැමිණෙන්නේ ඉකුත් 10 වෙනිදා බවය. ඹෟෂධ වලින් තොරව රෝග සුවකරන යාඥා පවත්වන්නෙක් වන එම දේවගැතිවරයා පදිංචිව සිටින්නේ ස්විට්සර්ලන්තයේය. ඔහු මෙරටට නිතර පැමිණ දේවමෙහෙයන් පවත්වන අතර ඔහු විශාලවශයෙන් සිය ආගමික නිකාය ව්‍යාප්ත කිරීමට මුදල්ද වියදම් කරන්නේ ආරියාලේපිහිටි දේවස්තානයක් කේන්ද්‍රකරගෙනය.
මෙම පූජකවරයා විවහාකයෙකි. බිරිදද යාපනයේ වැසියෙකි. මෙම දේවගැතිවරයාද යාපනයේය. එදත් සුපුරුදු ලෙස ඔහු ස්විට්සර්ලන්තයේ සිට මෙරටට එන්නේ සිය බිරිදත් කැටුවය. කටුනායක ගුවන්තොටුපොලට ඔහුව රැගෙන එන්නට අරියාලේ දේවස්ථානයේ ප්‍රධාන දේවගැතිවරයා විසින් පිටත්කර යැවෙන්නේ යාපනයේ මනිප්පායි හී පදිංචිව සිටින තරුණයෙකි. ඒ ඔහුට අයත් වෑන් රථයද සමගිනි. එදා උදෑසනම ගුවන්තොටුපොලට යන එම තරුණයා දේවගැතිවරයාත් ඔහුගේ බිරිදත් වෑන් රථයේ නන්වාගෙන යාපනයට එන්නේ ගල්ගමුව හරහා වැටී ඇති මාර්ගයේ ඔස්සේ ය. යාපනය බලා යන අතර තුර අනුරාධපුරයේ ආපන ශාලාවකටත් කිලිනොච්චියේ ආපනශාලාවකටත් ගොඩවන ඔවුන් ඒ ස්ථාන දෙකෙහිම මද වේලාවක් ගතකර ඇත්තේ තේ පැන් බොමිණි.
එසේ මග ස්ථාන දෙකක නවාතැන් ගනිමින් යාපනයට පැමිණි දේවගැතිවරයාත් බිරිදත් නවාතැන් ගන්නේ අරියාලේ දේවස්ථානයට යාබදව ඇති ඔවුන්ටම වෙන්වූ නිවසකය. එදා ඔවුන් විවේකීව කාලය ගතකරන අතර 11 වෙනිදා ඔවුන් යන්නේ නීතීඥවරයෙක් මුණ ගැසීමටය. දේවස්ථානය මගින් පාලනය කරන පෙර පාසලකට අළුත් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සදහා මුල්ගල තැබෙන්නේ ද එදිනය. එම උත්සවයට සහභාගිවන්නේ අතලොස්සක්පමණි. එදා වැඩි කාලයක් දේවගැතිවරයා කථාබහක නිරතවන්නේ එම ගොඩනැගිල්ල ඉදිකරන කොන්ත්‍රාත්කරු සමගය. ඒ ගොඩනැගිල්ල ඉදිකිරීමට අදාල කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙනි.
දේවගැතිවරයා නැවතත් සාමාන්‍ය ජනතාවට මුහුවන්නේ 12 වෙනිදාය. ඒ බැංකුවට යමිනි. එදා බැංකුවේ විනාඩි 05 ක පමණ කාලයක් ඔහු ගත කළේය. අනතුරුව ඔහු අරියාලේ මාකට්ටුවටද ගියේය. 13 සහ 14 වෙනිදා ඔහු සාමාන්‍ය ජනතාවට මුහුවන්නට ගියේ නැත. ඒ අසනීප තත්වය හේතුවෙනි. දේවමෙහෙය පැවැත්වෙන්නේ 15 වෙනිදාය. එදා ඔහු පෙර දිනට වඩා අසනීප තත්වය උත්සන්න වී සිටීම නිසා දේවමෙහෙයේ ආරම්භක කටයුතු පැවැත්වීමේ වගකීම පවරන්නේ අරියාලේ දේවස්ථානයේ දේවගැතිවරයාටය. අනතුරුව මෙම දේවගැතිවරයා විනාඩි 20 ක් පමණ දේවමෙහෙයක් පවත්වා සිය බිරිදත් සමග රාත්‍රී 8.30 ට පමණ පිටව යන්නේ පැමිණි වෑන් රථයේම නැගී කටුනායක ගුවන්තොටුපොල වෙතය. ඒ වන විටත් රෝගී තත්වයෙන් ඔහු සිටියත් ගුවන්තොටුපොලේදී ඔවුන්ව සැකකටයුතු කොව්ඩ් 19 රෝගීන් ලෙස සටහන් වන්නේ නැත. මේ අය මෙරටට එන්නේ ස්විට්සර්ලන්ත විදෙස්ගමන්බලපත්‍රයෙන් වූවත් අනාවරණය වී ඇති ආාකරයට අනුව ඔවුන් පිටව ගොස් ඇත්තේ ශ්‍රී ලංකික විදෙස් ගමන් බලපත්‍ර යෙනි.
දේවගැතිවරයාට කොවිිඩ් 19 වැලදී ඇතැයි සැකකරන බවට වූ තොරතුර මුලින්ම මෙරටට ලැබෙන්නේ දේවගැතිවරයාගේ බිරිදගෙනි. ඒ අරියාලේ දේවස්ථානයේ දේවගැතිවරයාට ලබාදෙන දුරකතන ඇමතුමක් ඔස්සේය. එහිදී ඇය සදහන් කර ඇත්තේ දේවගැතිවරයාට කොවිඩ් 19 වෛරසය වැලදී ඇති බවට සැකයක් ඇතිව තිබෙන බවත් ඔහු මේ වන විට ස්විස් රෝහලකට ඇතුලත්කර ඇති බවත්ය. ඒ ඉකුත් 21 වෙනිදාය. ඒ වන විටත් දේවස්ථානයේ පෙර පාසල් ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුත්ත භාරගත් කොන්ත්‍රාත්කරු සිටින්නේ යාපනය රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි කොවිඩ් 19 වෛරසය වැලදුණු බවට සැකකරන රෝගීන් ගොඩේය.
ස්විස් දේවගැතිවරයාට කොවිඩ් 19 වැලදී ඇතැයි සැකකරන බවට වූ ඔහුගේ බිරිදගෙන් ලද දුරකතන ඇමතුම ගැන අරියාලේ දේවගැතිවරයා යාපනයේ සෞඛ්‍ය අංශ මෙන්ම පොලීසියද දැනුවත් කිරීමට අමතක නොකලේය. ඒ පවතින් බරපතල ව්‍යවසනය ගැන ඔහුට යම් අවබෝධයක් තිබුණු බැවිනි. ඒත් එක්කම යාපනෙයේ සෞඛ්‍ය බලධාරීන් , ආරක්ෂක අංශ සහ රාජ්‍ය නිලධාරීන් එක්ව අරියාලේ ගම්මානය මුද්‍රා තබන්නේ ආරක්ෂක පියවරක් ලෙසිනි. අනතුරුව සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ එක්ව එදා දේවමෙහෙයට සම්බන්ධ වූවන් ගැන තොරතුරු රැස්කරනු ලබන්නේ ඔවුන්ව නිරෝධායන කටයුත්තට යොමු කළ යුතුව ඇති බැවිනි. එහිදී පෙනී යන්නේ එදා දේවමෙහෙයට සම්බන්ධවූවන්ගෙන් 208දෙනෙක්ම සිටින්නේ අරියාලේ බවය. කිලිනොච්චියෙන් 08 දෙනෙක්ද, වවුනියාවෙන් 07 දෙනෙක්ද, මන්නාරමෙන් 05 දෙනෙක්ද එම දේවමෙහෙයට සම්බන්ධ වී සිටි බව අනාවරණය කරගත් ආරක්ෂක අංශ සෞඛ්‍ය බලධාරීන් සමග එක්ව ඒ අයද ස්යං නිරෝධායනයට යොමුකරන්නට පියවර ගත්තේය.
මේ අතර ස්විට්සර්ලන්තයෙන් දේවගැතිවරයාගේ බිරිද මෙරටට පණිවිඩයක් එවන්නේ සිය සැමියාට කොවිඩ් 19 වැලදී නැතැයි වාර්තාවක් ලැබුණු බවටය. එම වාර්තාවන්ට අදාල පිටපත්ද මෙරටට ඇය විසින් එවා තිබුනේ සැකයක් ඇති නම් එයද දුරුකරන්නටය. ඒ වන විට යාපනය රෝහලට ඇතුලත්කර සිටි සැකකටයුතු රෝගීන් කිහිප දෙනෙකුගේ සෙම් පටල වෛද්‍ය පරියේෂණායතනයේ තිබෙන්නේ විමර්ශනයට ලක්වෙමිනි. ඒ අයගෙන් එක් අයෙක්ට කොවිඩ් 19 වෛරසය ආසාධනය වී ඇතැයි වෛද්‍ය පරියේෂනායතනය දැනුම් දෙන්නේ 22 වෙනිදා සවසය. ඒ වෙන කිසිවෙකුගේ නොව, දේවස්ථානයේ පෙර පාසල් ගොඩනැගිල්ල ඉදිකිරීම් සදහා කොන්ත්‍රාත්තුව බාරගත් පුද්ගලයාය.
ඒත් එක්කම සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශවලට දැඩි ගැටළුවක් ඇතිවන්නේ මේ පුද්ගලයාට කොවිඩ් 19 වෛරසය වැලදුණේ කෙසේදැයි කියාය. ඒ වන විටත් ඔහුගේ ගමන් බිමන් ගැන මෙන්ම ඇසුරු කළ අය ගැනද බුද්ධි අංශ විසින් විමර්ශනයක් කර තිබුණත් එම විමර්ශන වලින් පවා අවසාන අනුමානය වූයේ ඔහුට වෛරසය ආසාධනය වන්නට ඇත්තේ දේවගැතිවරයාගෙන් බවටය. ඒ අනුව දේවගැතිවරයා සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරක් දැන ගැනීමට රජයට සිදුවන්නේ රාජ්‍ය තාන්ත්‍රිකව ස්විස් රජයෙන් ඒ ගැන විමසාය. ඒ සම්බන්ධයෙන් වූ වාර්තාව මෙරටට ලැබෙන්නේ 23 වෙනිදාය. ඒ වාර්තාවට අනුව කියැවෙන්නේ දේවගැතිවරයා කොව්ඩි 19 ආසාධනයට ලක්ව ඇති අයෙක් බවය. ඒ වන විටත් යාපනයේ ඇදිරි නීතිය ක්‍රියාත්මකව පැවැති බැවින් මුද්‍රා තැබූ අරියාලේ ගම්මානයේ ජතාව නිවෙස් වලින් පිටතට පැමිණ තිබුනේ නැත.
ඒ වන විට දේවගැතිවරයා මෙරටට පැමිණ දින 13ක්ම ගෙවී ගොස් තිබුණි. වෛරසය වැලදුණු බවට අනාවරණය වූයේ එක් අයෙකුට පමණි. යාපනයට යන අතර තුරට මුහුවන්නේ අනුරාධපුරයේ සහ කිලිනොච්චියේ ආපන ශාලා දෙකෙහි සේවකයින් පමණි. ඒ වන විටත් එම ආපන ශාලා දෙකෙහි සේවකයින් කිසිවෙකුටත් ආසාධන ලක්ෂණ පෙන්නුම් නොකල බැවින් එය ආරක්ෂක මෙන්මබ සෞඛ්‍ය අිශවලට මහත් අස්වැසිල්ලක් විය. එසේම එම ආපන ශාලා දෙකට පැමිණි වෙනත් ගණුදෙනුකරුවන්ට පවා වෛරසය වැලදුණු බවක් මෙතෙක් අසන්නට හෝ දැනගන්නට නැත.
අරියාලේ ගම්මානයම මුද්‍රා තබා ස්යං නිරෝධායනකට ලක්කරන්නේ මෙවන් තත්වයක් හමුවේය. ඒත් එක්කම යාපනයේ ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ එක්ව දේවගැතිවරයාට ඉතා සමීපව සිටි සහ රෝගය වැලදුණු පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් සහ සමීපතයින් 20 දෙනෙක් හදුනාගනු ලැබීය. ඒ අය වෙනුවෙන් නීරෝධායන මධ්‍යස්ථානයක්ද ආරක්ෂක හමුදාව විසින් ඉදිකළේය. එම විසි දෙනා මේ වන විටත් සිටින්නේ හමුදාවේ අධික්ෂණය යටතේ එම නිරෝධායන මධ්‍යස්ථානයේය. මේ වන විට එම විසි දෙනාත් සමග අරියාලේ ගම්මානයේ වැසියන් දින 08 ක් පුරාවට නිරෝධායනය වෙමින් සිටිති. එසේම යාපනයට කොවිඩ් 19 වෛරසය පැතිරවූ ස්විස් දේවගැතිවරයා මෙරටින් පිටව ගොස් අද 30 ට දින 15 ක් ගෙවී ගොස් හමාරය. මේ කාලය තුළ යාපනයෙන් හමුවී ඇත්තේ කොව්ඩි 19 වෛරසය වැලදුණු ඒ රෝගියෙක් පමණි. යාපනයේ සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශවලට සැණසුම් සුසුමක් හෙළන්නට අදවන විට හැතියාව ඇත්තේ ඒ නිසාය. එය එසේ වූවත් තවත් සතියක් යන තුරු අරියාලේ ගම්මානයට තබා ඇති මුද්‍රා ඉවත් නොකරනු ඇත. ඒ ඔවුන් දින 14 ක් නිරෝධායනයට ලක්විය යුතු වනු ඇති බැවිනි.
කළුතර අටළුගමට මුද්‍රා තැබෙන්නේ මේ අතර තුරදීය. ඒ කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තියට වැට බැදීමට මුද්‍රා තැබූදෙවැනි ගම්මානය බවට අටළුගම පත්වෙමිනි. මෙම ගම්මානය මුස්ලිම් ගම්මානයකි. එම ගම්මානය පිහිටි බණ්ඩාරගම පොලිස් බලප්‍ර දේශය අයත් වන පානදුර පොලිස් කොට්ඨාශයේ ප්‍රධානියා වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජය ඉරසිංහ මහතා සදහන් කරන ආකාරයට අනුව ගම්මානයේ පවුල් පන්හයදාහක් පමණ ජීවත් වෙති. එම පවුල්වල සිටින ජන සංඛ්‍යාව විසි දහසකට වැඩිය.
අටළුගම වැසියන් විසි දහසක් ගමටම කොටුකරමින් එම ගම්මානයට මුද්‍රා තබන්නේ පසුගිය 27 වෙනිදා සිටය. ඊට මුල්වන්නේ ඩුබායි ගොස් පැමිණිගම්වැසියෙක් නිරෝධායනයට ලක්නොවී කොවිඩ් වෛරසය ඇග තුළතබාගෙන මුළුගම්මානයේම කරක්ගසා හසුවීම නිසාය. මේ වන විට එම ගම්මානයේ කී දෙනෙකුට එම වෛරසය ඔහු විසින් පතුරුවා හැර ඇති දැයි කිව නොහැකි බැවින් ගම්මානයෙන් පිටතට වෛරසය ව්‍යාප්තවීම වැලැක්වීමේ පියවරක් ලෙස සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙසින් මෙසේ ගම්මානයට මුද්‍රා තැබීමට සිදුවූ බව ආරක්ෂක අංශ කියන්නේය.
මේ පුද්ගලයා ඒ ආසන්නයේම පිහිටි ගම්මානයක මිතුරෙක් සමග ඩුබායි ගොස් ඇත්තේ පසුගිය 17 වෙනිදාය. නැවත මෙරටට පැමිණ ඇත්තේ 19 වෙනිදාය. ඩුබායි ගියේ ඇයිදැයි නිෂ්චිත හේතුවක් පැහැදිලි කර දෙන්නට ඔවුන් දෙදෙනාම අසමත්ය. කියන්නේ ව්‍යාපාරික කටයුතු සදහා ගිය බවකි. ඔවුන්ගේ ඒ ව්‍යාපාර කටයුතු මොනවාදැයි ආරක්ෂක අංශ වෙනම සොයා බැලීමක මේ වන විට නිරතව සිටින්නේ ඒ ගැනද ඇතිව තිබෙන ගැටළු සහගත බව නිසාය.
ඩුබායි සිට පැමිණි මොවුන් දෙදෙනා පොලීසියේ ලියාපදිචි වූයේ නැත. එහෙත් රජයේ උපදෙස් පිළිපදිමින් ඔහුගේ මිතුරානිවසේ රැදී සිටිමින් ස්යං නිරෝධායනය වෙමින් සිටියේය. නීරෝධායනය වෙනවා වෙනුවට මේ පුද්ගලයා ගම වටේම කරක් ගැසුවේය. මිතුරන් සමග එක්ව කමින් බොමින් විනෝදයෙන් කාලය ගත කරන්නට ගත්තේය. මේ පුද්ගලයා ගැන බණ්ඩාරගම පොලීසියටත් බුද්ධි අංශ වලටත් තොරතුරු ලැබෙන්නේ මේ අතර තුරදීය. පොලීසිය සහ බුද්ධි අංශ ඔහුව සොයා ගම්මානයට යන විට ඔහු නිවසේ සිටියේ නැත. ඔහු පොලීසියට කට්ටි පනිමින් සිටියේ එය වීරකමක් සේ සලකාය.
කට්ටි පනිමින් සිටි මේ පුද්ගලයා පොලීසියට කොටුවන්නේ පසුගිය 24 වෙනිදාය. ඒ වන විටත් ඔහු සිටියේ යම් රෝගී තත්වයකිනි. ඒ බව වටහාගත් පොලීසිය සෞඛ්‍ය අංශ සමග එක්ව ඔහුව කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කළේය. මේ පුද්ගලයාට කොවිඩ් 19 වෛරසය වැලදී ඇතැයි වෛද්‍ය පරියේෂණ වාර්තා ලැබෙන්නේ 26 වෙනිදා රාත්‍රියේදීය. අටළුගමට මුද්‍රා තැබීමට බලධාරීන් තීරණය කරන්නේ ඒත් එක්කමය.
ඒ එම ගම්මානයේ විශාල පිරිසක් ජීවත් වන බැවින් ඒ අය හරහා වෛරසය සෙසු ප්‍රෙද්ශවලට පැතිරයාමේ භයානක අවධානම හදුනාගෙනය. 27 වෙනිදා ගම්මානයට මුද්‍රා තැබුවේ යැයි කීවත් සැබෑ ලෙසම ගම්මානයට මුද්‍රා තබෙන්නේ 26 වෙනිදා රාත්‍රියේදීය. යුද හමුදාව , පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලීසිය ගම්මානයට ඇතුළුවීමට සහ පිටවීමට ඇති සියළුම මාර්ග අහුරවා මාර්ග බාධක පවා යොදන්නේ රාත්‍රී කාලයේ දීමය. ගම්මානය මුද්‍රා තබා ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ ගම්මානයම ස්යං නිරෝධායනයට යොමු කළා පමණක් නොව,
වෛරසය වැලදුණු පුද්ගලයා සමග සමීපව ඇසුරු කළ පුද්ගලයින් 26 දෙනෙක් ගැන තොරතුරු රැස් කළේය. තීරණය කෙරෙන්නේ ඒ අයව හමුදාවේ අධික්ෂය යටතේ නිරෝධායනය කිරීමටය. ඒ සදහා සුදුසු ස්ථානයක් ලැබෙන්නේ සර්වෝදය ආයතනයෙනි. ඒ සර්වෝදයට අයත් අක්කර තුන හතරක භුමි භාගයක පිහිටි ගොඩනැගිලි සංකීර්ණයම හමුදාවට භාර දෙමිනි. 28 වෙනිදා වන විට හමුදා සාමාජිකයින් විසින් ඒ තැන නීරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කළේය. එහෙත් මේ වන විට හදුනාගත් 26 දෙනාගෙන් එම මද්‍යස්ථානය තුළ නිරෝධායනයට යොමු කිරීමට හැකියාව ලැබී ඇත්තේ 20 දෙනෙකුට පමණි. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජය ඉරසිංහ මහතා පවසන්නේ 06 දෙනෙක් මේ වන විටත් නිරෝධායන ක්‍රියාවලියට සම්බන්ධ නොවී කට්ටි පනිමින් සිටින බවය. ඔවුන් අටළුගම ගම්මානයේම තවමත් රැදී සිටින බවත් ගෙයින් ගෙට පනිමින් ඔවුන් සැගවී සිටින බව බුද්ධි අංශ සදහන් කරන බව ද ඔහු පැවැසීය.
ඒ අයට වැඩි කල් කට්ටි පනින්නට ඉඩ නොලැබෙනු ඇති බව ඉරසිංහ මහතාගේ අදහසය. මේ වන විටත් ඔවුන්ව කොටුකර ගැනීමට මෙහෙයුම් ක්‍රිය්ත්මකකර ඇත.. කෙසේ වෙතත් මේ ගම්මානයට තැබූ මුද්‍රා නම් දින 14 ක් යන තුරුලිහිල් නොවනු ඇත. ඒ මේ වන විට ගම්මානයට වෛරසය රැගෙන පැමිණි පුද්ගලයාගේ පියාටත් සහෝදරියටත් වෛරසය වැලදී ඇතැයි 28 වෙනිදා තහවුරු වීම නිසාය. ඒත් එක්කම කළුතරින් සොයාගත් ආසාධිතයන්ගේ ගණනද 17 දක්වා ඉහළ ගියේය. ඒ අයගෙන් 03 දෙනෙක්ම අටළුගම වැසියන් වීම විශේෂිතය.
මේ ගම්මානයේ සිට වෙනත් ප්‍රදේශවලට ඉකුත් 19 වෙනිදායින් පසු සංක්‍රමණික වූ පුද්ගලයින්ව හදුනා ගනිමින් සිටින්නේ මෙවන් තත්වයක් හමුවේය. . බුද්ධි අංශ විසින් එසේ ගම්මානයේ සිට වෙනත් ප්‍රෙද්ශවලට 19 වෙනිදායින් පසු සංක්‍රමණ වූ පවුල් සහ පුද්ගලයින් කිහිප දෙනෙක්ම හදුනාගෙන ඒ අය ඔවුන් දැනට රැදී සිටින ස්ථානවලදීම ස්යං නිරෝධායනයට ලක් කිරීමට දැනටමත් පියවර ගෙන හමාරය.
කොවිඩ් වෛරසයෙන් බේරී ඇති දිස්ත්‍රික්ක අතර ඉහළින්ම වැජඹුණු දිස්ත්‍රික්කයක් වූයේ මහනුවරයි. කොවිඩ් 19 වෛරසයෙන් මහනුරව ජනතාව බේරා ගැනීමට සෞඛ්‍ය අංශ සමග ආරක්ෂක අංශ සිටියේ දිවාරෑ නොබලා ගතහැකි සෑම ආරක්ෂක පියවරක්ම ගමිනි. ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගමින් ගමන යමින් පොලීසිය නිරන්තරයෙන් අවධානය කරනු ලැබුවේ විදේශගතව සිට පැමිණි කිසියම් අයෙක් සිටී නම් වහාම පොලිස් ස්ථානයේ ලියාපදිංචි වන ලෙසය. එසේම කොවිඩ් 19 රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් ඒ බව සෞඛ්‍ය අංශ හෝ පොලීසියට දැනුම් දෙන ලෙසද ඉල්ලීමක් ද කළේය. ඒ සියළු ඉල්ලීම් සහ උත්සහයන් ගගට කැපූ ඉනි බවට පත්වන්නේ විදේශ ගතව පැමිණි අකුරණ සෙලබුගහවත්ත මුස්ලිම් ගම්මානයේ වැසියෙක් මහනුවරට කොවිඩ් 19 වෛරසය රැගෙන විත් ඇති බැවිනි. මේ පුද්ගලයා ඉන්දායවේ චෙන්නායි වෙත යමින් විසිතුරු මාළ වළලු සහ සාරි සරොම් වැනි භාණ්ඩ මෙරටට රැගෙන විත් වෙළදාමේ නිරතව සිටින පුද්ගලයෙකි.
මේ පුද්ගලයා තවත් දෙදෙනෙක් සමග ඉන්දායවේ චෙන්නායි ගොස් දින හය හතක් එහි ගතකර පැමිණ ඇත්තේ පසුගිය 15 වෙනිදාය. ඒ පැමිණි ඔහුට උණ රෝගය වැලදී ඇත්තේ දින හතරකට පමණ පසුවය. උණට ප්‍රතිකාර ගැනීමට ඔහු ගොස් ඇත්තේ ගමේ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙතය. අනාවරණය වෙමින් ඇති අකාරයට විදෙස්ගතව සිට පැමීණිම ගැන ඔහු උවමනාවෙන්ම වෛද්‍යවරයාට කරුණු සගවා ඇත්තේ වෛද්‍යවරයා ඒ ගැන විමසන විටදීමය. ඒ අනුව වෛද්‍යවරයා සාමාන්‍ය උණ රෝගියෙකුට ලබාදෙන ඹෟෂධ ඔහුට ලබාදී ඇති අතර ඔහු එම ඹෟෂධ භාවිතා කරමින් 27 වෙනිදා වන තෙක්ම කාලය ගතකර ඇත්තේ නිවසේ රැදෙමිනි. මහනුරව නියෝජ්‍ය පොලිස්පති ඩී.ආර්.එල්.රණවීර මහතා සදහන් කරනු ලැබුවේ ඔහු මහනුවර රෝහලට පැමිණ ඇතුළුවන්නේ 28 වෙනිසදා උදෑසන බවය. ඒ පැමිණ ඇත්තේ රෝගය උත්සන්න වීම හේතුවෙනි. මුල් අවස්ථාවේදී ඔහු ඉන්දායානු ගමන ගැන රෝහල් බලධාරීන්ටද සගවා ඇතත් පසුව ඔහුට තමා ඉන්දියාවේ සංචාරයක නිරත වූ බව පිළිගන්නට සිදුව ඇත්තේ බුද්ධි අංශ විසින් ඒ ක්ෂණිකව කළ විමර්ශනයකදී සියළුම තොරතුරු හෙළිකර ගත් බැවිනි.
ඒත් එක්කම බුද්ධි අංශ නිලධාරීන් ඔහු සමග ඉන්දියානු ගමනට සම්බන්ධ වූ පුද්ගලයින් දෙදෙනා ගැනද යම් සොයා බැලීමක් කර තිබේ. නියෝජ්‍ය පොලිස්පති රණවීර මහතා සදහන් කරනු ලැබුවේ ඔවුන් දෙදෙනා සිය නිවෙස් වලට වී ස්යං නිරෝධායනයට යොමු වෙමින් සිටින බව එහිදී අනාවරණය වූ බවය. නියෝජ්‍ය පොලිස්පති ඩී.ආර්.එල්.රණවීර මහතා සදහන් කරන්නේ වෛරසය වැලදුණු පුද්ගලයා ඒ වන විට නිදහසේ ගම්මානය පුරාම සැරිසරා ඇති බව අනාවරණය වී ඇති බැවින් කාගේත් ආරක්ෂාව පතාවෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමෙ සදහා අකුරණ සෙලබුගහවත්ත ගම්මානය මුද්‍රා තැබූ බවය. මෙම ගම්මානයේ පවුල් 347 ක් ජීවත් වන බවද ඔහු සදහන් කළේය. මේ අය අතර සිටින වෛරසය වැලදුණු පුද්ගලයා සමග සමීපව ඇසුරු කළ අය හදුනා ගැනීමේ කටයුතු වල බුද්ධි අංශ සහ සෞඛ්‍ය අංශ නිරතව සිටින අතර එම හදුනාගැණීම් වලින් පසු ඒ අයව නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කරමින් නිරෝධායනය කිරීමටද පියවර ගැනීමට මේ වන විටත් සියළු කටයුතු සම්පාදනය වෙමින් ඇත්තේ හමුදාවේ අධික්ෂණය යටතේය.
පුත්තලමේ කඩුමයන් කුලම ගම්මානයත් නාත්තන්ඩිය නගරයේ කොටසකුත් මුද්‍රා තැබෙන්නේද මේ අතරතුරදීය. ඒ එම ගම්මාන දෙකෙන්ද කොවිඩ් 19 වෛරසය වැලදුුණු විදේශගතව පැමිණි දෙදෙනෙක් හමුවීම නිසාය. පුත්තලම දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා මහතා සදහන් කරනු ලැබුවේ කඩුමයන්කුලම මුස්ලිම් ගම්මානයේ කොවිඩ් 19 වෛරසය වැලදුණු පුද්ගලයා ස්යං නිරෝධායනයේ නිරතවූ පුද්ගලයෙක් බවය. ඒ පුද්ගලයා එම ගම්මානයේම පදිංචි පස් දෙනෙක් සමග ඉන්දුනීසියාව, මලයාසියාව සහ තායිලන්තය යන රටවල පෙබරවාරි 26 වෙනිදා සිට සංචාරයක නිරතව මෙරටට පැමිණ ඇත්තේ පසුගිය 15 වෙනිදාය. සෞඛ්‍ය අංශවල සහ රජයේ උපදෙස් පිළිපදිමින් මේ පුද්ගලයින් පස් දෙනාම සිය නිවෙස් වලට වී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධික්ෂණය යටතේ ස්යං නිරෝධායනය වී ඇති අතර ඒ එක් අයෙකුට රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇත්තේ ඉකුත් 26 වෙනිදා සවසය. 27 වෙනිදා ඒ පුද්ගලයාගේ උණ රෝගය උත්සන්න වීමත් සමග ඔහුව කුරුණැගල රෝහලට යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත් අතර ඔහුට වෛරසය වැලදී ඇතැයි අනාවරණය වී ඇත්තේ 28 වෙනිදා දහවල් 2.00 ට පමණය.
නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා මහතා සදහන් කරන්නේ පවුල් 100 ක් පමණ මෙම ගම්මානයේ පදිංචිව සිටින බවය. මේ වන විට හමුදාව විසින් පුත්තලම සහිරා විද්‍යාලයේ කොටසක් නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස සකස්කර ඇති බවත් හමුදාවේ අධික්ෂණය යටතේ නිරෝධායනයට වෛරසය වැලදුණු පුද්ගලයා සමග සමීපව ඇසුරු කළ 18 දෙනෙක් හදුනාගෙන යොමුකර ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කළේය. ඔහුගේ පවුලේ උදවිය, සහ ඒ අය නිතර සම්බන්ධකම් පැවැත්වූ අසල්වැසි නිවාස දෙකක පුද්ගලයින් ඒ අර සිටින බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කියයි. හමුදාවේ අධික්ෂණයෙන් නිරෝධායනය වන පිරිස ඉදිරි දින කිහිපය තුළ මෙයට වඩා වැඩි වනු ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අදහසය. බොහෝ විට එම ප්‍රමාණය සියය ඉක්මවනු ඇත. ඒ වෛරසය වැලදුණු පුද්ගලයා යඥා සදහා සහභාගි වූ දේවස්ථාන 03ක් හදුනාගෙන ඇති බැවිනි.
නාත්තන්ඩිය නගරයේ කොටසක් මුද්‍රා තැබීමට මුල්වන පුද්ගලයාද මුස්ලිම් වැසියෙකි. ඔහු ඉකුත් 11 වෙනිදා ඉන්දියාවේ චෙන්නායි ගොස් 12 වෙනිදා මෙරටට පැමිණි අයෙකි. නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා මහතා සදහන් කරනු ලැබුවේ ඔහු ව්‍යාපාරික කටයුතු සදහා චෙන්නායි ගිය බව පවසන බවය. මේ පුද්ගලයාට උණ රෝගය උත්සන්න වී ඇත්තේ පසුගිය 27 වෙනිදාය. ප්‍රතිකාර ගැනීමට ඔහු ගොස් ඇත්තේ මාරවිල රෝහලටය. එහිදී ඔහුව පරීක්ෂා කළ වෛද්‍යවරුන් ඔහුව හලාවත රෝහලට යොමුකර ඇත්තේ කොවිඩ් වෛරසය වැලදී ඇතැයි අනුමාන කරමිනි. ඔහුට වෛරසය අසාධනය වී ඇතැයි හෙළිවන්නේ ද 28 වෙනිදාය.
මේ පුද්ගලයා ඒ වන විට තමන් ඉන්දියාවේ කළ සංචාරය ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හෝ පොලීසියට දැනුම් දීමක්ද කර තිබී නැත. ඔහු ගම පුරාම කරක් ගසා ඇති බවටද මේ වන විට තොරතුරු බුද්ධි අංශ රැස්කරගෙන තිබේ. ඔහු කොළඹට පැමිණ ඇති බවට සැකකරන තොරතුක් සම්බන්ධයෙන්ද සොයා බැලීමක බුද්ධි අංශ මේ වන විට නිරතව සිටී. කෙසේ වෙතත් ඔහු ඉතා ලගින් ඇසුරු කළ පවුල් 14 ක් ඊයේ වන විට බුද්ධි අංශ විසින් හදුනාගෙන තිබුණි. ඒ අය මේ වන විටත් ස්යං නිරෝධායනයට යොමු කර හමාරය.
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මේ වන විට සොයාගත් කොවිඩ් 19 වෛරසය ආසාධනය වූ පුද්ගලයින්ගේ ගණන 11 කි. ඉතාලිය ඇතුළු රටවල් කිහිපයකින් මෙරටට පැමිණ නීරෝධායන මධ්‍යස්ථාන වල නිරෝධායනය වෙමින් සිටි අය අතරද පුත්තලමේ පදිංචිකරුවන් 04 දෙනෙක් සිටියහ. ඒ අය මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටිති. ඒ අය නිරෝධායනය වන්නේ ගම්බිම් වලට පැමිණිමට පෙරය.
මේ වන විට රටපුරා තැනින් තැන හමුවන්නේ නිරෝධායන ක්‍රියාවලියට නිසි ලෙස ලක්නොවී කට්ටි පනිමින් සිටින විදේශයන්වලින් පැමිණි කොවිඩ් 19 වෛරසය අසාධිත වූවන්ය. එබැවින් රටේ කොයි කාගේත් යුතුකම වන්නේ නිරෝධායනය නොවී කට්ටි පනිමින් සිටින මේ පුද්ගලයන් ගැන ළගම ඇති පොලීසියට තොරතුරු දැනුම් දී ඒ අයව නිරෝධායනයට යොමු කිරීමය. එසේ නොවුණහොත් හෙට අනිද්දා ඔබේ ගම්මානයත් ආරක්ෂාක අංශවල මුද්‍රා තැබීමට ලක්ව මුළු ගම්මානයේම වැසියන්ට නිවෙස්වලම කොටුවී නිරෝධායනය වන්නට සිදුවනු ඇත.