නවතම පුවත්

ගෙවුණු වසරේදී මාරක රිය අනතුරුවල අඩුවක්

අසංක

අසංක

(දම්පත් රණසිංහ)

මාරක රිය අනතුරු 2200කින් මරණ 2557ක් 2023 වසරේ රටතුළ සිදුව ඇතත් අඩුම මාරක අනතුරු ප්‍රමාණයක් සිදුව ඇත්තේ ලංගම බස් රථ හා කන්ටේනර් රථවලින් බව රථවාහන අනතුරු සම්බන්ධයෙන් වූ නවතම සංඛ්‍යා දත්ත අනාවරණය කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කරනු ලබන්නේ පෙර වර්ෂවලට සාපේක්ෂව 2023 වසරේ මාරක රිය අනතුරු මෙන්ම එම අනතුරුවලින් මිය ගිය ගණනේ අඩුවක් පෙන්නුම් කරන බවය.

2022 වසරෙ තුළ මාරක අනතුරු 2395කින් මරණ 2515ක් සිදුව ඇති අතර 2021 වසරේ මාරක අනතුරු 2414කින් මරණ 2513ක් සිදුව ඇති බවත් මාර්ග අනතුරු සම්බන්දයෙන් සංඛ්‍යා දත්ත අනාවරණය කරයි. 2020 වසරේදී සිදුව ඇති මාරක රිය අනතුරු ගණන 2242කි. එම අනතුරුවලින් මියගොස් ඇති ගණන 2829දෙනෙකි. 2019 වසරේදී මාරක අනතුරු 2641ක් සිදුව ඇති අතර එහිදී මියගොස් ඇති ගණන 3097 දෙනෙකි.

මෙම සංඛ්‍යා දත්තවලට අනුව 2019 වසරට සාපේක්ෂව 2023 වසරේ මාරක අනතුරු මෙන්ම මරණ සැලකිය යුතු සංඛ්‍යාවකින් අඩුවී ඇති බවය.

කොවිඩ් වසංගත තත්ත්වය පැවති කාලයේ රථවාහන ගමනාගමන සීමා වීම් හේතුවෙන් අනතුරුවල යම් අඩුවීමක් සිදුවී ඇතත් 2023 වසරේදී ඒ තත්ත්වය තවදුරටත් වෙනසක් වී ඇත්තේ පොලිස් නිලධාරීන් රථවාහන වැරදි කරන රියදුරන් නීතියේ රැහැනට හසුකර ගැනීමට කරන මෙහෙයුම් වැඩිකර ඇති නිසා බව විශ්වාසකරන බව නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

2023 වසරේ පොලීසියට වාර්තා වී ඇති පාපාදැ අනතුරු 221කින් 219 දෙනෙක් මියගොස් ඇති බවද නිහාල් තල්දූව මහතා සඳහන් කරයි. වාර්තා වී ඇති අනතුරු 221කින් 219ක් මිය යාම පාපැදි අනතුරුවලින් මිය යන සම්භාවිතාව ඉහළ අගයක් ගන්නා බව පෙන්වීමක් බව ද නිහාල් තල්දූව මහතා පැවසීය. එය නොසලකා හැරිය හැකි තත්ත්වයක් නොවන බව ඔහු පෙන්වා දුන්නේය. 2022 වසරතුළ පාපැදි අනතුරුවලින් මියගොස් ඇති ගණන 226 දෙනෙකි.

2023 වසරේ සිදුව ඇති රිය අනතුරුවලින් වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ පදිකයින් බව නිහාල් තල්දූව මහතා කියයි. එම ගණන 740කි. ඊට පසු වැඩියෙන්ම මියගොස් ඇත්තේ යතුරුපැදිකරුවන්ය. එම ගණන 707කි. 2022 වසරේ මේ තත්ත්වය මෙයට වඩා වෙනස්ය. වැඩියෙන්ම මියගොස් ඇත්තේ යතුරුපැදිකරුවන්ය. එම ගණන 820කි. එම වසරේ පදිකයන් මියගොස් ඇති ගණන 792දෙදෙනෙකි.

වාහනවල ගමන්කරමින් සිටි මගීන් 254දෙනෙක් සහ රියදුරන් 173දෙනෙක් ද 2023 වසරේදී රියය අනතුරුවලින් මියගොස් සිටී. 2022 වසරේ රියදුරන් මියගොස් ඇත්තේ 189 දෙනෙකි. මගීන් 314දෙනෙක් එම වසරේදී මියගොස් තිබේ.

මේ හැරුණු කොට 2022 වසරේ යතුරුපැදිවල පසුපැදි ධාවකයින් 189 දෙනෙක්ද මියගොස් ඇත.

මාරක රිය අනතුරු 895කටම 2023 වසරේ වගකිය යුතුවන්නේ යතුරපැදිකරුවන්ය. නිහාල් තල්දූළු මහතා පවසන්නේ වැඩිම මාරක රිය අනතුරු ගණනකට මුල යතුරුපැදි බවය. ත්‍රීරෝද රථ 255ක්ද, ලොරි රථ 239ක්ද, ද්විත්ව වාහන 237ක්ද මාරක රිය අනතුරුවලට 2023 වසරේ වගකිව යුතුව ඇතැයිද ඔහු සඳහන් කළේය.

2023 වසරේ මාරක අනතුරුවලට අඩුම සම්බන්ධයක් ඇත්තේ ලංගම බස් රථ හා කන්ටේනර් රථ බව ද නිහාල් තල්දූව මහතා කියයි. ලංගම බස් රථ සම්බන්ධ මාරක අනතුරු ගණන 75ක් වන අතර කන්ටේනර් රථ ගණන 14කි.

2022 වසරේ ලංගම බස් රථ මාරක අනතුරුවලට වගකිවයුතු අවස්ථා ගණන වාර්තා වී ඇත්තේ 63ක් ලෙසිනි. 2021 වසරේ එම ගණන 37කි. 2020 වසරේ එම ගණන 29කි. 2019 වසරේ එම ගණන 59කි.

සමස්තයක් ලෙස ගත් කළ ලංගම බස් රථවලින් සිදුවන මාරක රිය අනතුරු පමණක් නොව, බරපතල තුවාල ගෙන දෙන අතුරු, සුළු තුවාල ගෙන දෙන අනතුරු ඇතුළු සෑම අනතුරක්ම ඇත්තේ ඉතා පහළ අගයකය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසන ආකාරයට අනුව 2023 වසරේ බීමත් රියදුරන් නීතියේ රැහැනට හසුකරගෙන නඩු පැවරීම් 124,761ක්ද, මාර්ග නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් නඩු 163,749ක්ද, සුදු ඉර කපා ධාවනය කිරීම් සම්බන්ධයෙන් නඩු 402,649ක්ද, ජංගම දුරකථන භාවිතා කරමින් රිය ධාවනය කිරීම් සම්බන්ධයෙන් නඩු 143,524ක්ද ආසන පටි නොපැල රිය පැදවීම් සම්බන්ධයෙන් නඩු 48,946ක්ද, ආදායම් බලපත්‍ර සහ රක්ෂණ සහතික නොමැතිව රිය ධාවනය කිරීම් සම්බන්ධයෙන් නඩු 223,802ක්ද, ආරක්ෂක හිස්වැසුම් නොමැතිව යතුරුපැදි ධාවනය කිරීම් සම්බන්ධයෙන් නඩු 286,751ක්ද, වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් නඩු 563,574ක්ද අවශයෙන් රථවාහන වැරදි සම්බන්ධයෙන් නඩු විසිපන්ලක්ෂ අනූදහස් පන්සිය හතලිහක් ලබාගෙන ඇති බවය.

8000ක් පමණ වන රථවාහන අංශයේ සේවයේ නිරත පොලිස් නිලධාරීන් දිවා රෑ නොබලා කරනු ලබන සේවයේ ප්‍රතිඵලයක් ලෙස අනතුරු අවමකර ගනිමින් මෙතරම් නඩු ගණනාවක් ගෙන ඇති බවද නිහාල් තල්දූව මහතා පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්