නවතම පුවත්

ගෝලීය දෙමළ සංසදය , මහ නාහිමිවරුන් බැහැදකී !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රට පුරා මහත් ආන්දෝලනයකට ලක්වූ ⁣විදේශීය දෙමළ ඩයස් පෝරාව හෙවත් ගෝලීය දෙමළ සංසදයේ නිලධාරීන් සහ යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ සංඝ සංසදයේ භික්ෂුන් වහන්සේලා මහනුවරට පැමිණ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහනායක සහ වරකාගොඩ ශ්‍රි ඤාණරතන අස්ගිරි පාර්ශ්වයේ මහනාහිමිවරුන් බැහැදැක, යහපත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම පිළිබඳව විශේෂ ලියවිල්ලක් මහනායක හිමිපාණන් වහන්සේලා වෙත බාර දුන්හ.

ලංකාවේ සියලු‍ ජන කොටස් අතර සමගිය, සහජීවනය සහ ආගමික සංහිඳියාව ගොඩනැංවීමට තම පූර්ණ සහයෝගය ලබා දෙන බව ද ඔවුහු මෙහිදී සඳහන් කළහ.

මෙම අවස්ථාවට ගෝලීය ද්‍රවිඩ සංසදයේ සභාපති, එක්සත් රාජධානියේ වෙසෙන සුරේන් සුරේන්දිරන් භවාන් භබකුගන්, වේලු‍පිල්ලේ කුගනේන්ද්‍රන්, ඕස්ට්‍රේලියාවේ ආචාර්ය කේමුගුන්දන්, ප්‍රකාශ් රාජසුන්දරම්, කැනඩාවේ රාජ් තවරත්නසංහම්, ඇමෙරිකාවේ ආචාර්ය ජෙයරාජා, යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ සංඝ සංසදයේ නියෝජිතයන් වූ අමරපුර නිකායේ මාදම්පාගම අස්සජි, සියඹලාගස්වැව විමලසාර, වාද්දුවේ පියරතන, මහාචාර්ය පල්ලේකන්දේ රතනසාර, කළුපහන පියරතන, කිතලගම හේමසාර, නාරම්පනාවේ ධම්මාලෝක, වලතර සෝභිත යන හිමිවරු ද සහභාගි වූහ.

මේ සම්බන්ධයෙන් මහනුවර ක්වීන්ස් හෝටලයේදී අදහස් දැක්වූ දෙමළ ඩයස් පෝරාව හෙවත් ගෝලීය දෙමළ සංසදයේ සභාපති සුරේන් සුරේන්දිරන් මහතා මෙසේ කීය.

“මම වසර 40කට කලින් මෙරටින් ගියා. ඒත් අප ගැන බෙහෝ වැරැදි මත ශ්‍රී ලංකාවේ පැතිර ගියා. අප නිතර කටයුතු කළේ එක්සත් ශ්‍රී ලංකාවක් සහ සහජීවනයෙන් සැවොම නිදහසේ ජීවත් වන රටක්. අපේ ඉදිරි අපේක්ෂාවත් එයයි.

මේ රටේ සියලු‍ ජාතින් ශ්‍රී ලාංකිකයන් එකතු වී මේ රට ගොඩනැගිය යුතු බව අප මහනායක හිමිපාණන් වහන්සේලා හමු වූ අවස්ථාවේ උන්වහන්සේලා අප හා පැවැසුවා.

අප ජනාධිපතිතුමා හමු වූ අවස්ථාවේ ජනාධිපතිතුමාත් කීවා උතුරේ සංවර්ධන කටයුතු සඳහා සියලු‍ දෙනාගේ සහාය ලබා දිය යුතු බව. මහනායක හිමිපාණන් වහන්සේලා ඉතා සුහදව අප සමග සාකච්ඡා කළා. උන්වහන්සේලා මේ තරම් සංවේදීව රටේ ප්‍රශ්න උතුරේ ජනතාවගේ ප්‍රශ්න ගැන අවධානය යොමු කර අවබෝධයෙන් පසු වීම ගැන අපගේ ප්‍රසාදය උන්වහන්සේලා වෙත පළ කරනවා. මේ රටේ සියලු‍ ජනතාව සමගියෙන් සහජීවනයෙන් ආගමික සංහිඳියාවෙන් ජීවත් වනු දැකීම තමන් වහන්සේලාගේ එකම අපේක්ෂාව බව ද පැවැසුවා.

මහනායක හිමිපාණන් වහන්සේලා උතුරු නැගෙනහිර පළාත්වලට ගොස් ඒ ජනතාවගේ ප්‍රශ්න හා ගැටලු‍ අවබෝධ කරගත් බව ද අපට පැවැසුවා.

අප උතුරේ ජනතාවත් ඔවුන්ගේ නියෝජිතයනුත් දැනුවත් කිරීමට පියවර ගන්නවා.”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්