චීන සංවර්ධන බැංකුවේ කලාපීය මූලස්ථානයක් කොළඹ වරාය නගරයට !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

චීන සංවර්ධන බැංකුවේ කලාපීය මූලස්ථානයක් කොළඹ වරාය නගරය ආශ්‍රිතව පිහිටුවන ලෙස ශ්‍රී ලංකා රජය ආරාධනා කර සිටී .

ඒ සදහා  අවශ්‍ය  සියලු පහසුකම් සැලසීමට  ශ්‍රී ලංකා රජය  සූදානම් බවද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා   චීන රජයට  දැනුම්දී ඇත .

චීන පාර්ලිමේන්තුවේ ඉහළ පෙළේ දූත පිරිසක් සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිතයින් පිරිසක්  අතර පසුගිය දා පැවති රාජ්‍ය තාන්ත්‍රික හමුවේදී බැසිල් රාජපක්‍ෂ මහතා මෙම දැනුම්දීම කර ඇත .

පවතින ආර්ථික අභියෝගය ජය ගැනීමට චීන – ශ්‍රී ලංකා මහබැංකු අතර ඇ.ඩො. බිලියන 1.5 ක මූල්‍ය හුවමාරුවට ,අදාළ ගිවිසුමේ යම් තාක්ෂණික කරුණු හේතුවෙන් ක්‍රියාත්මක කිරීමට නොහැකිව ඇති පසුබිමක ඒ පිළිබද කාරුණික අවධානය යොමු කරන ලෙසද  මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී  චීන කථානායකවරයාගෙන් ඉල්ලා සිට ඇත .

මෙරට ආයෝජන අවස්ථා සඳහා  චීනයේ සහය අපේක්ෂා කරන බවද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා මෙහිදී සඳහන් කර ඇත

එසේම තවද ශ්‍රී ලංකා චීන නිදහස් වෙළද ගිවිසුම යටතේ ඇගලුම් ,තේ සහ මැණික් වැනි කර්මාන්ත ක්ෂේත්‍රවලට චීන වෙළදපළට ප්‍රවිශ්ට වීම සදහා පහසුකම් පුළුල් කර දෙන ලෙසද අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිට ඇත .

චීනයේ තෙවැනි පුරවැසියා මෙන්ම චීන ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු සේ සැලකෙන එරට මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති (චීන පාර්ලිමේන්තුවේ කථානායක) ලී ෂන්සු මහතා, මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු උප සභාපති (නියෝජ්‍ය කථානායක) වූ වේහුවා මහතා, චීන මුදල් අමාත්‍ය ලියු කුන් මහතා ඇතුළු එරට ඉහළ පෙළේ දූත පිරිසක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සහභාගී වූ මෙම හමුව කොවිඩ් වසංගත තත්ත්වය පැමිණි පසු චීන පාර්ලිමේන්තුව පැවැත්වූ පළමු රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාව වීම විශේෂත්වයකි.

මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරමින් මෙම අවස්ථාවට කථානායක මහින්ද යාපා අබේවර්ධන, නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය, පාර්ලිමේන්තුවේ සභානායක සහ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.ඇල් පීරිස්, තරුණ සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක සහ මහාචාර්ය රොහාන් ගුණරත්න යන මහත්වරු සහභාගී වූහ.