“ජය ශ්‍රී”ට එරෙහිව වාරණයක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජය ශ්‍රී සංගීත කණ්ඩායම විසින් ගායනා කරන “මොඩ් ගොවියා” සහ “සුන්දරියේ” යන ගීත ඇල්බම්වල අඩංගු ගීත විස්සක් ගායනා කිරීම, ප්‍රචාරය කිරීම, අන්තර්ජාලයට මුදාහැරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය විසින් එම සංගීත කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු වෙත වාරණ නියෝගයක් නිකුත් කළේය.

අදාළ සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු වන අරුණ ලියනගේ මහතා විසින් පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව අදාළ සංගීත කණ්ඩායමේ සාමාජිකයින් වශයෙන් කටයුතු කළ රෝහිත ජයලත් සහ රෝහණ ජයලත් යන සාමාජිකයින් දෙදෙනාට එරෙහිව එම වාරණ නියෝගය නිකුත් කෙරුණි.Jaya Sri mp3 Songs Download | Jaya Sri New Songs List | Super Hit Songs |  Best All MP3 Free Online - Hungama

එම වාරණ නියෝගය ලබන 31 දක්වා බලපැවැත්වෙන බව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා නියෝග කළේය.

පෙත්සම්කරු කියා සිටින්නේ තමා සහ එම නඩුවේ වගඋත්තරකරුවන් දෙදෙනා එක්ව “ජය ශ්‍රී” යනුවෙන් සංගීත කණ්ඩායමක් පිහිට වූ බවය.

වගඋත්තර කරුවන් දෙදෙනා මේ වන විට සංගීත කණ්ඩායමෙන් ඉවත්ව සිටින අතර ඔවුන් තමන්ගේ අනුමැතියකින් තොරව එම සංගීත කණ්ඩායම විසින් සම්පාදනය කළ “මොඩ් ගොවියා” සහ “සුන්දරියේ” යන ගීත ඇල්බම්වල අඩංගු ගීත ගායනා කරන බවත් එය බුද්ධිමය දේපළ පනතට පටහැනි බවත් පැමිණිලිකරු අධිකරණය හමුවේ සඳහන් කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු වාණිජ මහාධිකරණය වගඋත්තරකරුවන් දෙදෙනාට නොතීසි නිකුත් කරමින් අදාළ වාරණ නියෝගය නිකුත් කළේය.