නවතම පුවත්

ටයිටැනික් සොයා ගිය සබ්මැරීනයේ, ඔක්සිජන් ඇත්තේ තවත් පැය දහයකට පමණයි!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉරිදා (ජූනි 18) ටයිටැනික් නෞකාවේ සුන්බුන් වෙත කිමිදෙන අතරතුරේ අතුරුදන්වූ සංචාරක සබ්මැරීනයක් සෙවීම සඳහා මධ්‍ය අත්ලාන්තික් සාගරයේ ඇරඹුණු මහා පරිමාණ සෙවීමේ හා ගලවාගැනීමේ මෙහෙයුම තවමත් ක්‍රියාත්මක ය.

පෙර දී සිදුකරන ලද ඇස්තමේන්තුවලට අනුව මේ වන විට සබ්මැරීනය තුළ ඉතිරිව ඇත්තේ තවත් පැය 10කට පමණ සරිලන ඔක්සිජන් ප්‍රමාණයක් පමණි.

සබ්මැරීනය අතුරුදන් වූ ප්‍රදේශයෙන් මිනිත්තු 30ක කාල පරතරයක් සහිතව “යමකින් යමකට සැරෙන් පහරදෙනවාක් වැනි හඬක්” කැනේඩියානු සෙවීමේ ගුවන් යානයකට නිරීක්ෂණය වී ඇතැ යි පැවසෙන ඊමේල් කීපයක් එක්සත් ජනපද මාධ්‍ය වාර්තාකර තිබුණි. මෙම ශබ්දය කොපමණ වේලාවක් ඇසුනේ ද යන්න අපැහැදිලි ය.

කෙසේ නමුත්, එක්සත් ජනපද නාවික හමුදාවේ හිටපු න්‍යෂ්ටික සබ්මැරීන අණ දෙන නිලධාරී ඩේවිඩ් මාර්කේ අනතුරු අඟවන්නේ, මෙම බලාපොරොත්තු සහගත ශබ්දය ටයිටන් යාත්‍රාවෙන් පැමිණෙනවා විය නොහැකිබව ය.

“ශබ්දය එන්නෙ ඔවුන්ගෙන් කියලා මම හිතන්නෙ නැහැ. ඒවා ස්වභාවික ශබ්ද වෙන්න පුළුවන්. අපට ශබ්ද ඇහෙනවා, තවත් නැව් [යාත්‍රාව අතුරුදන්වූ] ප්‍රදේශයට එනවා, එතකොට අපට තවත් ශබ්ද ඇහෙනවා. මේක අහම්බයක් කියලා මම හිතන්නේ නැහැ,” ඔහු බීබීසීයට පවසයි.

කිමිදීම අරඹා පැයකුත් මිනිත්තු 45කට පමණ පසු එම කුඩා සබ්මැරීන යාත්‍රාව සමග පැවැති සබඳතා බිඳවැටුණුබව එක්සත් ජනපද වෙරළාරක්ෂක සේවාව පැවසීය.

යාත්‍රාවේ සිටි පුද්ගලයින් පස්දෙනා ගලවාගැනීම සඳහා සියලු උපක්‍රමයන් ගවේශනය කෙරෙනබව ඕෂන්ගේට් සංචාරක සමාගම ප්‍රකාශ කළේ ය.

මීටර 3800ක ගැඹුරේ පිහිටි නෞකා සුන්බුන් වෙත කිමිදීම ද ඇතුළු දින අටක සංචාරයක් සඳහා වන ටිකට්පතෙහි මිල ඩොලර් 250 000කි.

මේ ගලවාගැනීමේ මෙහෙයුම සඳහා රජයේ ආයතන, එක්සත් ජනපද හා කැනඩා නාවික හමුදාවන් හා ගැඹුරු මුහුදේ වාණිජ කටයුතු සිදුකරන ආයතන සහාය ලබාදෙනබව බලධාරීහු ප්‍රකාශ කළහ.

ටයිටැනික් නෞකාවේ සුන්බුන් පිහිටා ඇත්තේ කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ්හි සේන්ට් ජෝන්ස් නගරයට කිලෝමීටර 700ක් දකුණෙන්වුව ද, ගලවාගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කෙරෙන්නේ එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ බොස්ටන් සිට ය.

අතුරුදන්වී ඇත්තේ ඕෂන්ගේට් සමාගමේ ‘ටයිටන්’ නම් සබ්මර්සිබල් යාත්‍රාවබව විශ්වාස කෙරෙයි. එය, පුද්ගලයින් පස්දෙනෙකු රඳවාගත හැකි, සාමාන්‍යයෙන් දින හතරකට සෑහෙන හදිසි ඔක්සිජන් සැපයුමක් සමග කිමිදෙන, ලොරි රථයක ප්‍රමාණයේ සබ්මැරීන යාත්‍රාවකි.

සඳුදා (ජූනි 19) අපරභාගයේ දී, එක්සත් ජනපද වෙරළාරක්ෂක සේවයේ රියර් අද්මිරාල් ජෝන් මෝගර් පුවත් සාකච්ඡාවක දී මෙසේ පැවසීය: “මේ අවස්ථාවේ දී තියෙන්නේ [පැය] 70ත් සම්පූර්ණ පැය 96ත් අතර කොහේ හෝ කියලා අපි අපේක්ෂා කරනවා.”

යාත්‍රාව සෙවීමේ කටයුතු සඳහා ගුවන්යානා දෙකක්, සබ්මැරීනයක් හා සෝනා (sonar) බෝයාවන් යොදවා ඇතැ යි පැවසූ ඔහු, සෙවීමේ කටයුතු සිදුකෙරෙන ප්‍රදේශය “දුරස්තර” නිසා මෙහෙයුම් කටයුතු සිදුකිරීම දුෂ්කරබව ද ප්‍රකාශ කළේ ය.

ගලවාගැනීමේ කණ්ඩායම් මෙය “තමාගේම කටයුත්තක් ලෙස සලකා” කටයුතු කරනබව ද, යාත්‍රාවේ සිටින සියලුදෙනා “ආරක්ෂිතව ගෙදර” ගෙන ඒම සඳහා හැකි සෑම දෙයක්ම සිදුකරනබව ද රියර් අද්මිරාල් මෝගර් පැවසීය.

බ්‍රිතාන්‍ය ජාතික බිලියනපති ව්‍යාපාරිකයෙකු හා ගවේශකයෙකු වන 58-හැවිරිදි හේමිෂ් හාඩින්ග් ද අතුරුදන්වූ සබ්මැරීනයේ සිටියවුන්ගෙන් අයෙකුබව ඔහුගේ පවුල විසින් ප්‍රකාශ කෙරිණ.

ගෙවුණු සති අන්තයේ දී, ඔහු ටයිටැනික් සුන්බුන් වෙත ගමන් කෙරෙන මෙහෙයුමකට සම්බන්ධවෙතැ යි “අවසානයේ ආඩම්බරයෙන් නිවේදනය කරන” බව හාඩින්ග් සමාජමාධ්‍යයන්හි සටහනක් තබා තිබුණි – නමුත්, “නිව්ෆවුන්ඩ්ලන්ඩ් වෙත වසර 40කින් පැමිණි දරුණුතම සීත කාලය [නිසා], 2023 වසරේ දී ටයිටැනික් වෙත මිනිසුන් ද සහභාගීව සිදුකෙරෙන පළමු හා එකම ගමන වනු ඇති,” යනුවෙන් ද ඔහු සඳහන්කර තිබුණි.

පසුව ඔහු මෙසේ ද ලිවීය: “කෙටි කාලෙකට හොඳ කාලගුණයක් ඇවිත් තියෙන නිසා අපි හෙට [ටයිටැනික් වෙත] කිමිදෙන්න උත්සාහ කරනවා.”

ඕෂන්ගේට් පවසන්නේ එහි “පූර්ණ අවධානය සබ්මර්සිබල් යාත්‍රාවේ කාර්යය මණ්ඩලය හා ඔවුන්ගේ පවුල් වෙත යොමුවී ඇති” බව යි.

“සබ්මර්සිබල් යාත්‍රාව සමග සබඳතා යළි පිහිටුවාගැනීම සඳහා වන අපගේ ප්‍රයත්නයේ දී රජයේ ආයතන කීපයකින් හා ගැඹුරු මුහුදේ [කටයුතු කරන] සමාගම් කීපයකින් අප වෙත ලබාදුන් පුළුල් සහයෝගයට අපි දැඩි සේ ස්තුතිවන්ත වෙනවා,” එය ප්‍රකාශ කළේ ය.

සමාගම, එහි කාබන්-ෆයිබර් සබ්මර්සිබල් යාත්‍රාවෙහි අටදින සංචාරය විස්තර කරන්නේ “එදිනෙදා දිවියෙන් පිටතට විත්, සැබැවින්ම අපූර්ව දෙයක් අනාවරණයකර ගැනීමේ අවස්ථාවක්” ලෙස ය.

සමාගමේ වෙබ් අඩවියට අනුව එක් මෙහෙයුමක් මේ වන විට සිදුවෙමින් පවතින අතර, 2024 ජූනි මාසය සඳහා තවත් මෙහෙයුම් ද්විත්වයක් සැලසුම්කර තිබේ.

Titan submersible from OceanGate

සාමාන්‍යයෙන් මෙම යාත්‍රාවක නියමුවෙක්, ගෙවීම් සිදුකර ගමනට සම්බන්ධවන අමුත්තෝ තිදෙනෙක් හා සමාගම විසින් “අන්තර්ගත පිළිබඳ ප්‍රවීණයෙක්” ලෙස හඳුන්වන්නෙක් ගමන් කරති.

ගමන ඇරඹෙන්නේ නිව්ෆවුන්ඩ්ලන්ඩ්හි සේන්ට් ජෝන්ස් වෙතිනි. සාගර ගැඹුරට හා ආපිට මතුපිටට කිමිදීම ද ඇතුළුව, නෞකා සුන්බුන් වෙත සිදුකෙරෙන මුළු ගමන සඳහා පැය අටක් පමණ ගතවෙයි.

ඕෂන්ගේට් සතු සබ්මර්සිබල් යාත්‍රා තුනක් ගැන එහි වෙබ් අඩවියෙහි සඳහන් ය. නමුත් ටයිටැනික් සුන්බුන් තැන්පත්ව පවතින ගැඹුර වෙත කිමිදීමට සමත් එකම යාත්‍රාව ‘ටයිටන්’ ය.

වෙබ් අඩවියට අනුව, බර කිලෝග්‍රෑම් 10 432ක් වන මෙම යාත්‍රාවට මීටර 4000කට ආසන්න ගැඹුරකට කිමිදිය හැකි අතර, පස්දෙනෙකුගෙන් යුත් මඟීන් පිරිසක් සඳහා පැය 96කට ප්‍රමාණවත් ජීවිතාධාරක තිබේ.

සබ්මර්සිබල් යාත්‍රාවන් නෞකා සුන්බුන් සහිත ප්‍රදේශයට ප්‍රවාහනය කිරීම සිදුකර ඇති ‘පෝලා ප්‍රින්ස්’ නම් නෞකාවක් ද මෙම මෙහෙයුමට සම්බන්ධවී තිබූබව, එම නෞකාවේ හිමිකරු බීබීසීය වෙත පැවසීය.

Titanic wreck location map

ගිය වසරේ දී ටයිටන් යාත්‍රාවෙන් සංචාරයක යෙදුනු CBS පුවත් සේවාවේ වාර්තාකරු ඩේවිඩ් පෝග්, සබ්මර්සිබල් යාත්‍රාවේ හා ගොඩබිමෙහි සිටින කාර්යය මණ්ඩලයන් මුහුණදෙනු ඇති ගැටලු පිළිබඳව බීබීසීය සමග ප්‍රකාශ කළේ ය. ඔහු පවසන පරිදි, GPS තාක්ෂණය හා රේඩියෝ “වතුර යට දි වැඩකරන්නේ නැති නිසා” අදාළ යාත්‍රාව සමග සන්නිවේදනය කිරීමට “කිසිම ක්‍රමයක් නැහැ.”

“සපෝට් ෂිප් එක කෙලින්ම සබ් එකට ඉහළින් තියෙද්දි, ඒගොල්ලන්ට කෙටි ටෙක්ස්ට් මැසේජස් හුවමාරු කරගන්න පුළුවන්. පැහැදිලිවම, දැන් ඒවාට [එවැනි කෙටි පණිවිඩවලට] උත්තර ලැබෙන්නේ නැහැ,” පෝග් කියා සිටියේ ය.

මඟීන් අදාළ යාත්‍රාව තුළට ඇතුළුවීමෙන් පසු පිටතින් බෝල්ට් ඇණ සවිකර යාත්‍රාව ‘සීල් කරන’ නිසාවෙන්, “එයාලම [සබ් එක] වතුර මතුපිටට අරන් ආවත්, එයාලට ගැලවෙන්න කිසිම ක්‍රමයක් නෑ. පිටතින් කෘ එක ඇවිත් ඔයාලව එළියට ගන්නකල්, ඔයාලට [තනියෙම] සබ් එකෙන් එළියට එන්න බැහැ,” ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ය.

එකල විශාලතම නෞකාව වූ ටයිටැනික්, 1912 වසරේ දී එංගලන්තයේ සවුත්හැම්ප්ටන් සිට නිව් යෝක් වෙත දියත් කෙරුණු මංගල ගමනේ දීම අයිස් පරයක ගැටුණි. නෞකාවේ ගමන් කළ 2200ක් වූ මඟීන් හා කාර්යය මණ්ඩලයෙන් 1500කට වැඩි පිරිසක් මරණයට පත්විය.

1985 දී නෞකාවේ සුන්බුන් හමුවූ දා පටන් එය පුළුල් ලෙස ගවේශනය කෙරිණ.

නෞකාවේ සුන්බුන් පිහිටා තිබෙන්නේ දෙකොටසකට ය. නැවේ ඇණිය සහ අවරය එකිනෙකට මීටර 800ක් පමණ දුරින් තැන්පත්වී තිබෙයි. කැඩුණු නෞකාව වටා විශාල දුරක එහි සුන්බුන් විසිරී පවතියි.

පසුගිය මාසයේ දී, ගැඹුරු මුහුදේ සිතියම්කරණය හරහා නෞකාවේ පළමු, පූර්ණ-පරිමාණ ඩිජිටල් ස්කෑනය නිර්මාණය කෙරිණි. ස්කෑනය හරහා නෞකාවේ විශාලත්වය මෙන්ම, එහි අවර පෙත්තක අනුක්‍රමික අංකය වැනි ඇතැම් කුඩා තොරතුරු ද දක්වයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්