ඩෙල්ටා ප්‍රභේදයෙන් ශ්‍රී ලංකාවේ විකෘති ප්‍රභේදයක් බිහිවීමේ දැඩි අවධානමක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මේ වන විට ඩෙල්ටා ප්‍රභේදය රටේ මූලික ප්‍රභේදය බවට පත්වෙමින් ශීඝ්‍ර පැතිර යාමක් දක්වන නිසා එය වැළැක්වීමට ඉක්මන් පියවර නොගතහොත් සැප්තැම්බර් වන විට ලංකාවටම අයත් වෙනස්ම විකෘති ප්‍රභේදයක් බිහි විය හැකි බව වෛද්‍ය විශේෂඥයෝ අනතුරු අඟවන බව වාර්තා වෙයි.

ඖෂධ සහ සෞඛ්‍ය සම්බන්ධ ජාත්‍යන්තර උපදේශක ආචාර්ය සංජය පෙරේරා මහතා පුවත්පතකට පවසා ඇත්තේ අගෝස්තු අග හෝ සැප්තැම්බර්  වන විට ලංකාවේ ප්‍රභේදයක් වර්ධනය විය හැකි බවය.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මියද ඩෙල්ටා ප්‍රභේදය ශීඝ්‍රයෙන් පැතිර යන නිසා මෙරට තුළින් නව වෛරස් ප්‍රභේදයක් බිහිවීමේ හැකියාව ඇති බවත් එය පවතින වෛරසය අභිබවා යාමට සමත් වනු ඇති බවටත් අනතුරු ඇඟවූ බවද එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කරනවා.