නවතම පුවත්

“දුම්කොළ සමාගම් එක්ක සම්බන්ධකම් ඇති අයට ඡන්දෙ දෙන්න එපා”

අසංක

අසංක

දුම්කොළ සමාගම සමග කිසිදු ආකාරයක සබඳතාවයක් හෝ මිතුරුකමක් පවත්වන දේශපාලනඥයෙකු හට මෙවර මහා මැතිවරණයේදී ජන්දය ලබානොදෙන ලෙස දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රය මහ ජනතාවගෙන් ඉල්ලා සිටී .

දුම්කොළ , මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය වලට විරුද්ධව කටයුතු කරන සැබෑ මහජන හිතකාමී අපේක්ෂකයින් තෝරා ගන්නා ලෙසද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කොළඹ විශ්ව විද්‍යාලයේ දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රය සියලුම ජන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටී.

එම නිවේදනයේ මෙසේද දැක්වේ .

දුම්කොළ නිෂ්පාදන විසින්, එය භාවිතා කරන්නන්ගෙන් අඩක් අකාලයේ මරා දමයි. ශ්‍රී ලංකාවේ සෑම වසරකම දුම්කොළ හේතුවෙන් සිදු වන මරණ සංඛ්‍යාව 20,000 ක් පමණ වේ. දුම්කොළ භාවිතයෙන් පිළිකා, හෘද රෝග, ආඝාතය, ලිංගික අප්‍රාණිකත්වය, පෙනහළු රෝග සහ දියවැඩියාව ඇති කරයි. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනට අනුව, සෑම වසරකම දුම්කොළ භාවිතය නිසා ශ්‍රී ලංකාවේ රුපියල් බිලියන 214 ක ආර්ථික අලාභයක් සිදු වන අතර සැලකිය යුතු මානව සංවර්ධන සම්පත් අලාභයක් ද සිදු වෙයි. දුම්කොළ වගාව මගින් වනාන්තර විනාශය, ජෛව විවිධත්වය නැතිවීම, පාංශු ඛාදනය හා ජල දූෂණය ඇතුළු බරපතල පාරිසරික ප්‍රතිවිපාක රාශියක් ඇති කරයි. සිගරට් කොට වැනි අපද්‍රව්‍යවලින් පරිසරයට විෂ රසායනික ද්‍රව්‍ය කාන්දු වන අතර එය ගොඩබිම, ජලය සහ වායු දූෂණයට හේතු වේ. මෙසේ දුම්කොළ භාවිතයෙන් සිදුවන ඍජු මරණ ඇතුළු නොයෙකුත් හානි රාශියක් තිබියදීත්, දුම්කොළ කර්මාන්තය සිගරට් භාවිතයට ළමුන් හා තරුණයින් ආකර්ෂණය කර ගැනීම සඳහා පුළුල් පරාසයක උපක්‍රම භාවිතා කරයි. සෘජු හා වක්‍ර වෙළඳ දැන්වීම්, වෙළඳ අනුග්‍රාහකත්වයන්, නොයෙකුත් ආකාරයේ ප්‍රවර්ධනයන් සහ දුම්කොළ සමාගම් සහා ඔවුන්ගේ නිෂ්පාදන පිළිබඳ මිථ්‍යාවන් පැතිරවීම පමණක් නොව ප්‍රතිපත්ති සම්පාදකයින්, ඉහළ පෙළේ නිලධාරීන් සහ දේශපාලනඥයින්ට බලපෑම් කිරීම හරහා දුම්කොළ පාලන ප්‍රතිපත්ති හා ක්‍රියාවන්ට අත පෙවීම ද එම උපක්‍රම අතර වේ.

දේශපාලනඥයින්ගේ අමාත්‍ය ධුර යටතේ රජයේ කටයුතුවලට අනුග්‍රහය දැක්වීමෙන් හෝ ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාර සඳහා අරමුදල් සැපයීමෙන් දුම්කොළ කර්මාන්තයේ නියෝජිතයන් දේශපාලනඥයින්ගේ මිත්‍රයින් බවට පත් වේ. ඉන්පසු, ඵලදායී දුම්කොළ පාලන නීති, ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරකම් සංවර්ධනය හා බලාත්මක කිරීම කඩාකප්පල් කිරීමට දුම්කොළ කර්මාන්තය මෙම “මිත්‍රත්වයන්” භාවිතා කරයි. එවැනි මැදිහත්වීම් නිසා දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත හා සිගරට් අසුරණ වල රූපමය සෞඛ්‍ය අවවාද ප්‍රදර්ශනය ක්‍රියාත්මක කිරීම විවාදාත්මකව ප්‍රමාද වූ බව ඔබ දැන සිටිය හැකිය. මෙම ප්‍රමාදය නිසා සිදු වූයේ කුමක්ද? සිගරට් භාවිතයට යොමු වීමෙන් වළක්වා ගත හැකිව තිබුණු තරුණයින් දහස් ගණනක් එම අවුරුදු කිහිපය තුළ එසේ වළක්වා ගැනීමට බැරි වීමයි!

සිගරට් අසුරණ වල ආකර්ශනීය බව අඩු කිරීම අරමුණු කරගත් ප්‍රමිතිගත සම්මත ඇසුරුම්කරණය මීට වසර දෙකකට ඉහත දී රජය විසින් යෝජනා කර අනුමත කරන ලද නමුත් එය තවමත් ක්‍රියාත්මක වී නැත. එසේම සිගරට් අඩු මිලකට ලබා ගැනීමේ හැකියාව සහ සැමතැනම සිගරටි විකිණීමට ඇති පරිසරය යන කරුණු ගැන සළකා ඉදිරිපත් වුණු යෝජිත තනි සිගරට් අලෙවිය තහනම, විශේෂයෙන් තරුණයින් හා දුප්පතුන් අතර භාවිතය සැලකිය යුතු ලෙස අඩුවීමට හේතු වනු ඇත. එම යෝජනාව දැනට අවහිර කර ඇති අතර පසුගිය වසර දෙකක කාලය තිස්සේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂාවෙන් එය පොරොත්තු වෙමින් පවතී. විකල්ප බෝග වගාවන් පුළුල් කිරීම හෝ වෙනත් බෝග වලට මාරු වීම සඳහා ගොවීන්ට සහයෝගය ලබා දීමත් සමග සාරවත් කෘෂිකාර්මික ඉඩම්වලට, ගොවීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට බරපතල ලෙස හානිකර වන දුම්කොළ වගාව තහනම් කිරීමට 2016 වසරේ මුල් භාගයේ දී යෝජනා කරන ලදී. මෙම තහනම ද අද දක්වා ක්‍රියාත්මක වී නැත.

දුම්කොළ කර්මාන්තය විසින් දේශපාලඥයින් සම්බන්ධ කර ගැනීම් සහ එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රතිපත්ති හා වෙනත් කටයුතුවලට සිදු කළ අත පෙවීම් සම්බන්ධයෙන් වැඩි විස්තර අපගේ වෙබ් අඩවිය වන www.tobaccounmasked.lk හි සඳහන් වේ.

මෙම උදාහරණ මගින් දුම්කොළ කර්මාන්තයේ උපාය මාර්ග පිළිබඳ වඩා හොඳ අදහසක් ඔබට ලැබෙන්නට ඇතැයි අපි විශ්වාස කරමු. රටෙහි වත්මන් හා අනාගත පරම්පරාවන් හා රටම දුම්කොළ කර්මාන්තයේ අභිමතාර්ථයන්ගෙන් ආරක්ෂා කිරීමේදී, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන්ගේ ක්‍රියාමාර්ග සහ තීරණ වල වැදගත්කම දැන් ඔබට මනාව වැටහෙනු ඇත. ඒ අනුව, විචාරශීලී ලෙස සිතා බලා බුද්ධිමත්ව හා වගකීමෙන් ඔබගේ ඡන්දය ප්‍රකාශ කර සැබවින්ම ජනතා හිතවාදී දේශපාලනඥයින් පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගන්නා ලෙස අපි ඉතා ඕනෑකමින් ඔබට ආයාචනා කර සිටිමු. එසේම ඔබ තෝරා ගන්නා අපේක්ෂයකයා තම ජයග්‍රහණයෙන් පසු දුම්කොළ සමාගම සමග මිතුරුකම් ඇති කර ගැනීමට විරද්ධව ඔබ බලපෑම් කරනු ඇතැයිද අපි විශ්වාස කරමු. එවිට අපගේ දරුවන් මිනීමරු දුම්කොළ කර්මාන්තයෙන්, ඔවුන්ගේ මාරාන්තික නිෂ්පාදන වලින් සහ ඔවුන්ගේ වාණිජමය හා වෙනත් අභිමතාර්ථයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට ඔබ ඵලදායී ලෙස දායක වනු ඇත.

සැබවින්ම මහජන හිතකාමී අපේක්ෂකයින් තෝරා ගැනීම වෙනුවෙන් ඔබට ස්තූතියි,

දේශපාලනඥයන් පිළිබඳ තොරතුරු සඳහා පිවිසෙන්න http://tobaccounmasked.lk/…/Category:%E0%B6%AF%E0%B7%9A%E0%

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්