නවතම පුවත්

දුමින්ද සිල්වා නිදහස් රටෙනුත් රටිනුත් විරෝධය

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න/ ප්‍රබෝධා හෙට්ටිආරච්චි

හිටපු දේශපාලකයකු වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී මරණ දණ්ඩනය නියම වී සිරගතව සිටී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ජනාධිපති සමාව ලැබ බන්ධනාගාරයෙන් ඊයේ (24) නිදහස් කර තිබේ.

2016 වසරේ සිට ඔහු සිර දඬුවම් විඳිමින් සිටි අතර පොසොන් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 93 දෙනෙකු සඳහා ඊයේ ජනාධිපති සමාව හිමිවූ ලැයිස්තුවට ඔහු මෙලෙස ඇතුළත් කර ඇත.

බන්ධනාගාර ගතව සිටි LTTE සැකකරුවන් 16 දෙනෙකු ද ඒ අතරට අයත් වූ අතර මීට අමතරව සුළු වැරදි සම්බන්ධයෙන් තවත් 77 දෙනෙකුට ද එලෙස නිදහස හිමිව ඇත.

මේ අතර දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව දීම සම්බන්ධයෙන් මෙරට ඇතැම් පාර්ශ්ව, විපක්ෂයේ සහ ජාත්‍යන්තරයෙන් ද ඇතැම් කණ්ඩායම්වලින් විරෝධය මතුවී තිබේ.

මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා වරදකරු වූ නඩු නිමිත්ත වූ ඝාතනයට ලක්වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ලිපියක් යොමු කරමින් පවසා ඇත්තේ ජනාධිපති පොදු සමාව ලබාදීම රටේ පවතින නීතිය හෑල්ලුවට ලක්කිරීමක් බවය. ඇයගේ මව එනම් භාරත ලක්ෂ්මන් මහතාගේ බිරිඳ වන සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ද සමාජ ජාල සටහනක් තබා තිබුණු අතර එහි පවසා තිබුණේ “ඝාතකයා නිදහස් කර, යුක්තිය සිරගත කොට ඇත. යුක්තිය නැති රටකට හිරු පායන්නේ නැත.” යනුවෙනි.

මේ අතර නිවේදන නිකුත් කරමින් විපක්ෂය ද දුමින්ද සිල්වා මහතාට නිදහස ලබාදීම පිළිබඳ ඊයේ ප්‍රශ්න කර තිබුණි.

ව්‍යාවස්ථාවෙන් ජනාධිපතිවරයාට හිමිව ඇති බලතල අයථා ලෙස භාවිතය හෙළාදකින බව සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

ජනාධිපති සමාව ලද සිරකරුවන්ගේ ලැයිස්තුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළත්‌ කිරීමට ගත් තීරණය ගැන මෙන්ම ජනාධිපති සමාව සඳහා සුදුසුකම්‌ ඇති අය තීරණය කිරීමේදී භාවිතා කරන නිර්ණායක මොනවාදැයි ජනතාවට පැහැදිලි කරන ලෙස එක්සත් ජාතික පක්ෂයද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විමසා සිටීයේය.

මේ අතර දුමින්ද සිල්වා මහතාට ජනපති සමාව දී නිදහස් කිරීම සිදු වුයේ ඒ සම්බන්ධයෙන් ව්‍යවස්ථානුකූලව පවතින නීත්‍යනුකූල පියවර ගැනීමෙන් අනතුරුව ද යන්න ශ්‍රී ලංකා නීතිඥ සංගමය විමසා සිටීයේය. නීතිඥ සංගමයේ මෙම කරුණු විමසීමට හේතු ලෙස කරුණු 6ක් ඉදිරිපත් කර තිබූ අතර ඒ පිළිබද කරුණු දක්වන ලෙස එම සංගමය ඉල්ලා සිටියේ ය.

සහෝදර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඝාතනයකට වරදකරු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය දෝෂ දර්ශනයට ලක්කර ඇත.

එහි නිල සමාජ ජාල ගිණුමකින් සඳහන් කර තිබෙන්නේ, දේශපාලඥයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවෙකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හට ජනාධිපති සමාව ලබාදී අත්තනෝමතික ලෙස නිදහස් කිරීම, නීතියේ අධිපත්‍යය දුර්වල කරන සහ වගවීමේ ක්‍රියාවලිය අඩපණ කිරීමට තවත් උදාහරණයක් බවයි.

මේ අතර මෙරට මෙරට අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ඇලෙයිනා බී ටෙප්ලිට්ස් ද මේ පිළිබඳ අප්‍රසාදය පළකරමින් සිය නිල සමාජ ජාල ගිණුම් ඔස්සේ සටහනක් තබා තිබුණි.

ඇය පෙන්වා දෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටි සිරකරුවන් ඉක්මනින් නිදහස් කිරීම සාදරයෙන් පිළිගන්නා නමුත් 2018 දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරු කරනු ලැබූ දුමින්ද සිල්වාට සමාව දීම නීතියේ ආධිපත්‍යයට වලකැපීමක් බව ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්