නවතම පුවත්

නව වසරේ ආර්ථික අභියෝග !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වසර 2024 දී මුහුණ දීමට සිදු වෙන ආර්ථික, සමාජ සහ දේශපාලනික අභියෝග අවබෝධ කර ගත හැක්කේ 2023 දී අප කළ කී දේ අනුවය. 2023 දී ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති අතරින් යහපත් ඒවා කිහිපයක් හඳුනා ගත හැකිය. එකක් නම්, අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා පැවති පෝලිම් අවසන් වීමය. දෙවැන්න, උද්ධමනය අඩු වීමය. විදුලිය, ඉන්ධන වැනි උපයෝගීතා සේවාවල කිසියම් පාලනයක් ඇති කර ගෙන තිබීමත් සැලකිය හැක්කේ ධනාත්මක වර්ධනයක් හැටියටය. එසේම වැදගත් අණ පනත් කිහිපයක් ද සම්මත කර ගැනිණි.

එසේ වුවත් ජනතාවගේ ආර්ථික තත්ත්වය කඩා වැටිණි. ඒ සඳහා බලපෑ හේතු දෙකක් හඳුනා ගත හැකිය. පළමුවැන්න, උද්ගත වූ ආර්ථික අර්බුදයෙන් ජනජීවිතයට එල්ල වූ බලපෑමයි. එහි ප්‍රතිඵලයක් හැටියට ජනතාවගේ ආදායම්වල මූර්ත වටිනාකම සියයට 50 ක් පමණ අඩු වී තිබේ. දෙවැන්න, ආර්ථික අර්බුදයෙන් මිදීම අරබයා ක්‍රියාත්මක කළ ඇතැම් ප්‍රතිපත්තිවලින් එල්ල වූ බලපෑමයි. මේ කාරණා දෙකෙන්ම ජනතාවගේ ආර්ථිකයට එල්ල වූ අහිතකර බලපෑම අදටත් දැකිය හැකිය. මේ තත්ත්වය ශ්‍රී ලංකාවට පමණක් අනන්‍ය වූවක් නොවෙන අතර ආර්ථික අර්බුදවලට මුහුණ දුන් අනෙක් රටවලද මෙවැනි තත්ත්ව දැකගන්නට ලැබිණි. ග්‍රීසිය, වෙනිසියුලාව, ලෙබනනය යනු ඊට දැක්විය හැකි උදාහරණ කිහිපයකි. එම රටවල ලංකාවේ උද්ගත වූ තත්ත්වයටත් වඩා දරුණු ප්‍රතිවිපාක දැක ගත හැකි විය.

මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත්ව ඇති ප්‍රමාණය හා ආර්ථික ප්‍රගතිය ගැන සෑහීමකට පත් විය නොහැකිය. එහි අර්ථය වෙන්නේ තවත් අභියෝග රැසක් අප හමුවේ තිබෙන බවය. ආර්ථිකයේ කිසියම් බාහිර කම්පනයක් ඇති වුවහොත් 2022 දී උද්ගත වූ අර්බුදයට වඩා ප්‍රබල ව්‍යසනයකට අපට මුහුණ දීමට සිදු වෙනු ඇත. එයින් හැඟෙන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිශක්තිකරණය තවමත් ශක්තිමත් කර ගෙන නොමැති බවය. එබැවින් 2024 වසර ආරම්භ කිරීමට සිදු වෙන්නේ ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව දියුණු කරගනිමිනි.

දුප්පත්කම වැඩි වීම සහ එකතු කළ අගය මත බදු (වැට්) සංශෝධන නිසා අලුත් වසරේදී දුප්පත් ජනතාවත් මධ්‍යම පාන්තිකයනුත් දැඩි පීඩාවට ලක් වෙනු ඇත. දකුණු ආසියානු කලාපයේ සෙසු රටවල් සමඟ බැලීමේදී ලංකාවේ ආහාරපාන සහ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ඉතා ඉහළ මට්ටමක පවතී. මේ නිසා ලංකාවේ මන්දපෝෂණය ඉහළ අගයක පවතින බව ඒ සම්බන්ධ සංඛ්‍යා දත්ත පිරික්සීමේදී පෙනේ. විනිමය අනුපාතයේ හැසිරීම සහ බදු වැඩි කිරීම නිසා දුප්පත් හා මධ්‍යම පාන්තික ජනතාව වඩාත් පීඩාවට පත්ව සිටිති. මෙරට බදු ව්‍යුහයේ පවතින ප්‍රධාන ගැටලුව නම්, වක්‍ර බදු නිතරම ඉහළ දැමීමත් ආර්ථිකයේ ප්‍රධාන ප්‍රශ්නයට ආමන්ත්‍රණය නොකිරීමත්ය. ඍජු බදු ආදායම් වැඩි කර ගැනීමට ක්‍රියාමාර්ග ගැනෙන්නේ නැත. ඒ වෙනුවට වැට් වැනි වක්‍ර බදු ඉහළ දමා තිබේ. ඒ යටතේ ආහාර ඇතුළු බොහොමයක් භාණ්ඩවල මිල ගණන් වැඩි වේ. වක්‍ර බදු වැඩි කිරීමේ සීමාවක් පවතින බව තේරුම් ගත යුතුය. අසීමාන්තිකව වක්‍ර බදු පැනවීමෙන් ජනතාව පරිභෝජනය සීමා කිරීමට යොමු විය හැකිය. එබැවින් කළ යුත්තේ දුප්පත් පොහොසත් සියලු දෙනා බදු ගෙවීමට යටත් කරන බදු ක්‍රමයක් හඳුන්වා දීමය. ඒ යටතේ අවුරුදු 18 ට වැඩි සෑම පුරවැසියකුම යම් මුදලක් රජයට බදු වශයෙන් ගෙවිය යුතු තත්ත්වයක් ඇති කළ යුතුය.

ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන ප්‍රශ්නය වෙන්නේ ආදායම් වියදම් පරතරය යි. එම පරතරය සෑම වසරක දීම ප්‍රසාරණය වේ. ආණ්ඩුවේ ඇස්තමේන්තුවලට අනුව, 2024 දී රජයේ මුළු ආදායම රුපියල් බිලියන 4100 කි. එහෙත් ණය හා පොලී වෙනුවෙන් එම වසරේදී ගෙවිය යුතු මුදල රුපියල් බිලියන 7000 ක් පමණ වේ. තත්ත්වය එසේ වුවද අපි තවමත් ණය ගනිමින් සිටිමු. ණය ගැනීම්වල අඩුවක් සිදු ව නැත. ණයවල පාලනයක් ඇති කර ගැනීමට ශ්‍රී ලංකාව මෙතෙක් සමත්ව නැත.

ආර්ථික අර්බුදය හමුවේ දුප්පතුන් බවට පත් වූ මධ්‍යම පාන්තිකයෝ පිරිසක් ද සිටිති. මා ඔවුන් හඳුන්වන්නේ සැඟවුණු දුප්පතුන් වශයෙනි. ඊට හේතුව, ආර්ථික විද්‍යාවේදී දුප්පතුන් හඳුනා ගැනීම සඳහා භාවිත කරන නිර්ණායක යටතට ඔවුන් නොවැටෙන හෙයිනි. බදු ඉහළ නැංවීම නිසා ඔවුහු ද දැඩී පීඩාවට පත්ව සිටිති. බොහොමයක් වියදම් කප්පාදු කිරීමට ඔවුන්ට ද සිදුව තිබේ. වසර 2024 දී ශ්‍රී ලංකාව මුහුණ දෙන එක් අභියෝගයක් නම්, දුප්පත්කමත් ඒ හා බැඳුණු අසමානතාවත්ය. සංඛ්‍යා දත්තවලට අනුව, මෙරට සිටින ධනවත්ම සියයට 10 ලංකාවේ ආදායමෙන් සියයට 50 කට ආසන්න ප්‍රමාණයක් අත්පත් කර ගනිති. එය අසාධාරණය. එසේම ජනගහනයෙන් සියයට 50 ක් දෙනා ලංකාවේ මුළු ආදායමෙන් අත්කර ගන්නේ සියයට 10 ක පමණ ප්‍රමාණයකි. එබැවින් දුප්පත්කමටත් මේ අසමානතාවටත් ආමන්ත්‍රණය කළ යුතුව තිබේ.

ජනතාවගේ අපේක්ෂාභංගත්වය ද අවධානයට ගත යුතු ප්‍රශ්නයකි. විශ්‍රාමික හා වැඩිහිටි ප්‍රජාව ඒ අතර විශේෂ වේ. ආර්ථික අර්බුදය හමුවේ ඔවුන්ගේ ජීවන තත්ත්ව ඉහළට ගත හැකි යැයි සිතිය නොහැකිය. ඒ, ඔවුන්ට යළි ජීවිකා වෘත්තීන්හි නියැළීමට නොහැකි හෙයිනි. ඒ සඳහා කාලයක් ද නොමැත. ඔවුන් බොහෝවිට යැපෙන්නේ ඉතිරි කිරීම්වලිනි. ඉතිරි කිරීම්වල මූර්ත වටිනාකම් සියයට 50 න් පමණ පහළ බැස ඇති බැවින් ඔවුහු පීඩාවට පත්ව සිටිති.

අපේක්ෂාභංගත්වයට පත්වූවන් අතර වැඩ කරන ජනතාව ද ප්‍රධානය. ඔවුහු ද දුෂ්කර කාලයක් ගෙවමින් සිටිති. ඉදිරි වසර දහයක කාලයේදීත් ඔවුන්ට මේ දුෂ්කර තත්ත්වයට මුහුණ දීමට සිදු වේ. රට නිවැරදි ආර්ථික මාවතක ගමන් කළ හොත් ඉදිරි අවුරුදු දහයත් විස්සත් අතර කාලයේදී යථා තත්ත්වයට පැමිණීමට පිළිවන. අපේක්ෂාභංගත්වයට පත්වූ පිරිස අතර තරුණ ප්‍රජාව ද සිටිති. ඔවුන්ගෙන් බොහෝදෙනා රට හැර යෑමට උත්සාහ කරති.

දුප්පත්කම, අසමානතාව සහ අපේක්ෂාභංගත්වය යන මේ අභියෝග ත්‍රිත්වයට නව වසරේදී ආමන්ත්‍රණය කළ යුතුය. ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමකින් තොරව මේ අභියෝගවලට ආමන්ත්‍රණය කිරීමට නොහැකිය. එසේනම් අපට මීළඟට තිබෙන අභියෝගය වෙන්නේ ආර්ථික වර්ධනයක් උදා කර ගැනීමයි. මේ අභියෝගයට මුහුණ දීමට අැවැසි පදනම ප්‍රතිසංස්කරණ රාශියක් මගින් ඇති කර ගත යුතුය. එසේම පසුගිය දසක දෙක තුනක කාලයේදී මෙරට ආර්ථික වර්ධනය සිදු වූ මාවතෙන් එපිට ප්‍රවේශයක ආර්ථික වර්ධනය දැන් සිදු විය යුතුය. දේශීය වෙළෙඳ නොවෙන අංශයේ (රාජ්‍ය පරිපාලනය, යටිතල පහසුකම්, මූල්‍ය සේවා, සන්නිවේදන සේවා වැනි අංශ) වර්ධනය සමඟ මෙරට ආර්ථික වර්ධනය මේ සියවසේ ආරම්භයේ පටන්ම අනන්‍ය වී තිබිණි. අනෙක් පැත්තෙන් ආණ්ඩුවේ ණයවලින් ගත් ආයෝජන සමඟ ඒ ආර්ථික වර්ධනය සංයෝජනය වී තිබිණි. දැන් අපට මෙරට ආර්ථික වර්ධනය වෙළෙඳ අංශවලට හැරවීමට සිදු වේ. එසේ කිරීමෙන් අපනයන වැඩි කර ගැනීමට පිළිවන. එසේම ආණ්ඩුව ලබා ගත් ණය මත පදනම්ව කළ ආයෝජන වෙනුවට පෞද්ගලික ආයෝජන (දේශීය හෝ විදේශීය හෝ) මත ආර්ථික වර්ධනය ළඟා කර ගැනීමට උත්සාහ කළ යුතුය.

අලුත් වසරේ දී සාමාජීය අර්බුද කිහිපයකටද ආමන්ත්‍රණය කිරීමට සිදු වේ. ආර්ථික අර්බුදයක් සමඟ සාමාජීය හා සදාචාරාත්මක පිරිහීමක් උද්ගත වීම සාමාන්‍යය. එය කාලයක් තිස්සේ තිබුණු පිරිහීමකි. සමාජය ඒ ගැන නෑසුණු කන්ව සිටියේය. මුදල් ඉපැයීමේදී සදාචාරාත්මක නොවෙන ක්‍රම අනුගමනය කිරීමට බොහෝ අය යොමුව සිටින්නෙත් එහි ප්‍රතිඵලයක් ලෙසය. අපරාධ ඉහළ යමින් තිබේ. ඒවාට කලකිරුණු ඇතැම්හු රට හැර යමින් සිටිති. ආර්ථික අර්බුදවලට මුහුණ දෙන රටවල මෙවැනි තත්ත්ව සුලභව දැකිය හැකිය. ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය නිසි ලෙස ක්‍රියාත්මක වෙන්නේ ද නැත. ඇතැම් දේශපාලනඥයන් හා රජයේ ඉහළ බලධාරීන් පිරිහී සිටින නිසා ඔවුන්ගේ උපදෙස් පිළිපැදීමට ජනතාව කැමැත්තක් දක්වන්නේ නැත. මේ පසුබිමේ මෙරට තිබෙන්නේ අයාලේ යන සමාජ ක්‍රමයකි. තමන්ට නිවැරදි යැයි සිතන දේ කිරීමට බොහෝ දෙනා පුරුදුව සිටිති. එහෙත් එසේ නිවැරදි යැයි උපකල්පනය කරන දේවල් වැරදි වීමට ද පිළිවන. ආර්ථික අභියෝගවලට ප්‍රතිකර්ම යොදන අතර මේ සාමාජීය අර්බුදවලට ආමන්ත්‍රණය කිරීම ද නව වසරේ දී කළ යුතුය. නීතිය ක්‍රියාත්මක විය යුතුය. එසේම එය අපක්ෂපාත විය යුතුය.

දේශපාලන ස්ථාවරත්වය ගොඩ නගා ගැනීමත් අලුත් වසරේ මුහුණ දෙන අභියෝගයකි. මෙරට මුහුණ දෙන බොහෝ ප්‍රශ්නවල එක් දිගුකාලීන මූල හේතුවක් වෙන්නේ ද දේශපාලන අස්ථාවරත්වයයි. ප්‍රජාතාන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම් ආදිය අපි නිතර අගයමු. මා සිතන හැටියට අප ඒවායේ සීමා ඉක්මවා ගොස් තිබේ. නිදහස තිබිය යුතු දෙයක් වුවත් ඊට සීමා තිබේ. පුරවැසියන්ගේ නිදහසින් රටේ නිදහසට සහ ආර්ථිකයට හානි සිදු වෙන්නේ නම් එවැනි අසීමාන්තික නිදහසක් අර්ථ විරහිතය. ප්‍රජාතාන්ත්‍රවාදී නිදහසට ඒවායේ සීමා ඉක්මවා යෑමට ඉඩ දිය යුතු නැත. ඇතැම් රටවල් එවැනි සීමා ඉක්මවා යෑම වැළැක්වීම සඳහා අණ පනත් පවා පනවා තිබේ. සිංගප්පූරුව ඊට දැක්විය හැකි එක් උදාහරණයකි.

සිංගප්පූරුව ප්‍රජාතන්ත්‍රවාදී රටකි. එහෙත් එරට නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය අයුතු ලෙස භාවිත කිරීම වැළැක්වීමට අණ පනත් පනවා ඇත. සිංගප්පූරුව විසින් සමාජ මාධ්‍යවල පළ වෙන තොරතුරුවල නිරවද්‍යතාව සම්බන්ධයෙන් පනතක් සම්මත කරන ලදී. එම පනත ජාත්‍යන්තර වශයෙන් විවේචනයට ලක් වූව ද එය සිංගප්පූරුව විසින් ක්‍රියාත්මක කරනු ලබයි. එකී පනත යටතේ සිර දඬුවම් සහ දඩ යන දණ්ඩන පනවා තිබේ. ජනතාවගේ හික්මීම ආරක්ෂා කිරීමට සිංගප්පූරු ආණ්ඩුව එම පනතින් උත්සාහ දරයි. අප සිංගප්පූරුව මෙන් දියුණු වීමට කැමති වූවත් සිංගප්පූරුව කළ දේවල් කිරීමට පසුබට වේ. කෙසේවෙතත් ලංකාවේ එවැනි අණ පනත් ගෙන එන විට ඒවාට දසතින් විවේචන එල්ල වේ. මගේ අදහස අනුව, අප නිදහසේ සීමා ඉක්මවා ගොස් තිබේ. එය රටේ දියුණුවට බාධාවකි.

(කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරිමල් අබේරත්න)

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්