නවතම පුවත්

වැට් බදු ගැන දැනගතයුතුම කරුණු පහ මෙන්න !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

2024 ජනවාරි 01 වැනිදා සිට VAT නොහොත් එකතු කළ අගය මත බද්ද, 15% සිට 18% දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවීම පසුගිය දිනවල කතාබහට ලක් වූ කරුණක් විය. වක්‍ර බද්දක් වන මෙම බද්ද භාණ්ඩ හා සේවා මිල දී ගනු ලබන සෑම පාරිභෝගිකයෙකුට ම ගෙවීමට සිදුවන බද්දකි.

රජය මෙම බදු ඉහළ දැමීමට තීරණය කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්, රජයේ බදු ආදායම වැඩි කරගැනීම සඳහා අවශ්‍ය බදු සංශෝධන කරන ලෙස නිර්දේශ කර ඇති පසුබිමකදීය. VAT රජයේ බදු ආදායමේ එක් ප්‍රධාන බද්දක් වන අතර එය වැඩි කර රජයට ආදායම් වැඩි කරගැනීමට එරෙහිව ඇති ප්‍රධාන තර්කය වන්නේ එමඟින් භාණ්ඩ මිල ඉහළයන නිසා අවසානයේ බදු බර අවසාන පාරිභෝගිකයාට දරාගැනීමට සිදුවන බවයි.

එසේ නම් ඔබේ එදිනෙදා ජීවිතයට VAT වැඩිවීම බලපාන්නේ කෙසේද? මෙම ලිපියෙන් සාකච්ඡා කරන්නේ ඒ පිළිබඳවයි.

එකතු කළ අගය මත බද්ද හෙවත් VAT පළමුව ක්‍රියාත්මක කළ රට වන්නේ ප්‍රංශයයි. ඒ 1954දිය.නිෂ්පාදන ක්‍රියාවලියේදී අගය එකතු කිරීමේ දී (Value Add) බද්දක් අය කිරීම ඒ අනුව සිදුවේ. එය ඉතා සීමිත භාණ්ඩ ප්‍රමාණයකට පමණක් බලනොපවත්වන අතර වෙළඳපොළේ ඇති ඇති භාණ්ඩවලට අවම වශයෙන් එක් අවස්ථාවක දී හෝ VAT අය වේ.

එකතු කළ අගය මත බද්ද 2002 අංක 14 දරණ පනත මඟින් හඳුන්වා දෙන ලද අතර එය 2002 අගෝස්තු 01 වැනි දින සිට ක්‍රියාත්මක වේ. භාණ්ඩ හා සේවා බද්ද වෙනුවට එකතු කළ අගය මත බද්ද එවක රජය විසින් ආරම්භ කළ අතර, එය භාණ්ඩ හා සේවා පරිභෝජනය මත අය කරන බද්දකට බොහෝ සෙයින් සමාන ය.

එය දේශීය භාණ්ඩ හා සේවා පරිභෝජනය මත පනවන ලද බද්දකි. ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන භාණ්ඩ හා ශ්‍රී ලංකාවේ දේශසීමාව තුළ සපයනු ලබන භාණ්ඩ හා සේවා මෙම බද්දෙහි විෂය පථයට ඇතුළත් ය. මෙම බද්ද භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමේ සහ බෙදාහැරීමේ ජාලයේ සෑම අදියරකදී ම එකතුවන අගය මත අයකරන අදියර කිහිපයකින් සමන්විත බද්දකි.

බද්ද අවසාන වශයෙන් පරිභෝජනය කරනු ලබන පාරිභෝගිකයා විසින් දරනු ලබයි. එය වක්‍ර බද්දක් වන අතර නිෂ්පාදනය හා බෙදාහැරීමේ ජාලයේ සියලු අතරමැදි සැපයුම්කරුවන් හරහා අවසන් පාරිභෝගිකයා විසින් ගෙවනු ලබන බද්දෙහි වටිනාකමට සමාන වටිනාකමක් අවසානයේ දී රජයට ලැබේ.

VAT ගෙවීම සඳහා ව්‍යාපාර විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතුය. වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 1.2ට වැඩි සියලු සමාගම් ඒ සඳහා ලියාපදිංචි වී බද්ද ගෙවීම කළ යුතු ය. එම පිරිවැටුම් සීමාව නොඉක්මවන අයට ස්වේච්ඡාවෙන් ලියාපදිංචි විය හැකි අතර එය අනිවාර්ය නොවේ.

සරලවම ඔබ මිලදී ගන්නා ඕනෑම භාණ්ඩයකට ඔබ එය මිල දී ගන්නා අවස්ථාවේ දී VAT ගෙවීමට සිදු වේ. භාණ්ඩයේ අවසාන මිල ගණනය කර ඇත්තේ VAT එකතු කිරීමෙන් ය. එමෙන් ම අදාළ භාණ්ඩයේ සැපයුම් ජාලයේ අවසාන පාරිභෝගිකයා වන්නේ ඔබ නම් බද්දේ අගය ගෙවන්නේ ඔබයි.

ඔබ සාමාන්‍යයෙන් වෙළඳපොළෙන් මිල දී ගන්නා යෝගට් නිෂ්පාදනයක් මේ සඳහා උපකල්පිත උදාහරණයක් ලෙස ගනිමු.

යෝගට් නිෂ්පාදනය සඳහා යෝගට් නිෂ්පාදකයාට පළමුව ප්ලාස්ටික් යෝගට් කෝප්ප අවශ්‍ය වේ. ප්ලාස්ටික් යෝගට් කෝප්ප නිෂ්පාදන කරන නිෂ්පාදකයාට පළමුව ඒවා නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය මිලට ගැනීමට සිදු වේ.

එක් යෝගට් කෝප්පයකට අවශ්‍ය ප්ලාස්ටික් මිලට ගැනීමට අවශ්‍ය වටිනාකම රුපියල් 10ක් ලෙස සැලකුවහොත් 18%ක VAT සමඟ ඔහුට එය මිලට ගැනීමට සිදුවන්නේ රුපියල් 1 සත 80ක බද්දක් සමඟ රුපියල් 11 සත 80කටයි.

ඉන්පසු ප්ලාස්ටික් නිෂ්පාදකයා අමුද්‍රව්‍ය භාවිත කර ප්ලාස්ටික් යෝගට් කෝප්පයක් සකසයි. ඔහු එම එක් කළ වටිනාකම රුපියල් 15ක් ලෙස සටහන් කරයි. එවිට බදුරහිත නිෂ්පාදනයේ වටිනාකම රුපියල් 25කි.

යෝගට් කර්මාන්තශාලාව විසින් එවිට මෙම ප්ලාස්ටික් යෝගට් කෝප්පයක් මිලදී ගන්නේ රුපියල් 25කටයි. එම රුපියල් 25ට අමතරව 18%ක බද්දක්, එනම් රුපියල් 4 සත 90ක් ද එක් යෝගට් කෝප්පයක් වෙනුවෙන් දැරීමට යෝගට් කර්මාන්තශාලාවට සිදු වේ.

යෝගට් සාදා එම ප්ලාස්ටික් කෝප්පයේ ඇසුරුම් කරන ක්‍රියාවලියේ අගය රුපියල් 50ක් ලෙස උපකල්පනය කළහොත් මෙම නිෂ්පාදනයේ මේ වන විට සම්පූර්ණ වටිනාකම රුපියල් 75කි. එය පාරිභෝගිකයා විසින් මිල දී ගන්නා විට නැවත 18%ක බද්දක් එකතු වේ. ඒ අනුව අවසන් යෝගට් නිෂ්පාදනය ඔබට මිලට ගැනීමට සිදුවන්නේ රුපියල් 88 සත 50කට යි.

ඒ අනුව VAT ප්‍රතිශතය සෑම විටම භාණ්ඩයේ අවසන් මිල තීරණය කරයි.

ඔබ මිල දී ගන්නා භාණ්ඩවල නිෂ්පාදකයන් VAT ගෙවීමට ලියාපදිංචි වී ඇති අය නම් ඔබට ඉහත පෙන්වා දුන් ආකාරයේ මිල සැකසුම් ආකෘතියකට අනුව භාණ්ඩ මිලට ගැනීමට සිදු වේ.

නමුත් යම්හෙයකින් ඔබ මිලදී ගන්නා භාණ්ඩයේ නිෂ්පාදන ක්‍රියාවලියේ එක් ස්ථානයක VAT සඳහා ලියාපදිංචි නොවූ සැපයුම්කරුවෙකු සිටී නම් භාණ්ඩයේ මිල ඉහත පෙන්වා දුන් ක්‍රමයට වඩා මිල අධික විය හැකිය.

ඉහත යෝගට් නිෂ්පාදන උදාහරණයේ, නිෂ්පාදන අවධි දෙකේ නිෂ්පාදකයන් දෙදෙනාම (ප්ලාස්ටික් කෝප්ප නිෂ්පාදකයා සහ යෝගට් නිෂ්පාදකයා) දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ VAT ගෙවීමට ලියාපදිංචි වී ඇති ව්‍යාපාරිකයන් දෙදෙනෙකු යැයි උපකල්පනය කරමු.

පළමු අවස්ථාවේ දී ප්ලාස්ටික් කෝප්ප නිෂ්පාදකයාට ප්ලාස්ටික් අමුද්‍රව්‍ය අලෙවි කරන්නාගෙන් එක් කෝප්පයක අමුද්‍රව්‍ය මිලට ගැනීමට සිදු වූයේ රුපියල් 10ක් සහ රුපියල් 1 සත 80ක බදු මුදලකුත් ඇතුළත්ව රුපියල් 11.80කටයි. ඔහුගේ ප්ලාස්ටික් යෝගට් කෝප්පයක වටිනාකම රුපියල් 25කි. එය නැවත ඔහු යෝගට් කර්මාන්තශාලාවට විකිණීමේ දී එක් යෝගට් කෝප්පයක් සඳහා රුපියල් 25කුත්, ඒ සඳහා 18%ක බදු මුදලක් ලෙස රුපියල් 4 සත 50ක් අය කර ගනියි. යෝගට් කර්මාන්තශාලාවෙන් ප්ලාස්ටික් කෝප්පය මිලට ගන්නේ රුපියල් 29 සත 50කට යි.

VAT හි ඇති සුවිශේෂී ලක්ෂණය වන්නේ නිෂ්පාදකයන්ට නිෂ්පාදන ක්‍රියාවලියේ දී වියදම් වූ VAT අගය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නැවත ඔවුන් වෙත ගෙවීමයි.

ඉහත උදාහරණයට අනුව ප්ලාස්ටික් කෝප්ප නිෂ්පාදකයා එක් කෝප්පයක අමුද්‍රව්‍ය සඳහා රු. 1.80ක බද්දක් ගෙවා ඇත. ඔහුට එම වියදම් වූ බදු මුදල දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නැවත ඔහුට ගෙවයි. එය සිදු වන්නේ මෙසේයි.

ප්ලාස්ටික් නිෂ්පාදකයා කෝප්ප 100කට අවශ්‍ය අමුද්‍රව්‍ය ඉහත මිල ගණන් වලට මිල දි ගත්තේ නම් ඔහු රුපියල්180ක් බදු සඳහා වියදම් කර තිබේ.

ඔහුගෙන් ප්ලාස්ටික් කෝප්ප මිල දී ගත් කර්මාන්තශාලාකරුවා එක් කෝප්පයක් සඳහා නිෂ්පාදනය මිලට ගෙන ඇත්තේ රුපියල් 29.50කට නම් ඔහු එක් කෝප්පයකට රුපියල් 4.50ක් බදු ගෙවා ඇත.

කර්මාන්තශාලාකරුවා ප්ලාස්ටික් නිෂ්පාදකයාගෙන් කෝප්ප 100ක් මිලට ගත්තේ නම් ඔහු රුපියල් 2950.00ක් ඒ සඳහා වියදම් කර ඇත. ප්ලාස්ටික් යෝගට් කෝප්පයක වටිනාකම රුපියල් 25ක් ලෙස උපකල්පනය කළ නිසා එම කෝප්ප 100හි සැබෑ වටිනාකම රුපියල් 2500කි. කර්මාන්තශාලාකරුවා රුපියල් 450ක අමතර මුදලක් බදු ලෙස ප්ලාස්ටික් නිෂ්පාදකයාට ගෙවා තිබේ. ප්ලාස්ටික් නිෂ්පාදකයාට අමුද්‍රව්‍ය මිලට ගැනීමට රුපියල් 180ක බදු මුදලක් දැරීමට සිදු වූ නිසා එම රුපියල් 450ක බදු මුදලෙන් ඔහුට මුල් අවස්ථාවේ ගෙවීමට සිදු වූ ආදායම අඩු කර ඉතිරි මුදල දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ගෙවිය යුතු ය.

මීළඟ අදියරේ දී රුපියල් 75ක් වටිනා අවසන් යෝගට් නිෂ්පාදනය VAT අගය සහිතව පාරිභෝගිකයා වෙත එන මිල වන්නේ රුපියල් 88.50කි. යම් පාරිභෝගිකයෙකු යෝගට් 100ක් මිල දී ගත්තේ නම් කර්මාන්තශාලාකරුවාට රුපියල් 1350ක අමතර ආදයමක් හිමි වේ. එහි දී ඔහු මුල් අවස්ථාවේදී ඔහුට වියදම් වූ රුපියල් 450ක බදු මුදල එම මුදලෙන් අඩු කර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ගෙවිය යුතු වේ. නිෂ්පාදනය හා බෙදාහැරීමේ ජාලයේ සියලු අතරමැදි සැපයුම්කරුවන් හරහා අවසන් පාරිභෝගිකයා විසින් ගෙවනු ලබන බද්දෙහි වටිනාකමට සමාන වටිනාකමක් අවසානයේ රජයට හිමි වනු ඇත.

නිෂ්පාදකයන් VAT සඳහා ලියාපදිංචි වී සිටින්නේ නම් VAT අගය නිෂ්පාදකයාට බලපෑමක් වන්නේ ඉතා අඩු වශයෙන් ය. සාමාන්‍යයෙන් මහා පරිමාණ ව්‍යාපාර සියල්ලම පාහේ ඒ සඳහා ලියාපදිංචි වී තිබේ. අවසානයේ දී භාණ්ඩය මිල දී ගත් පාරිභෝගිකයාට එය සෘජුව බලපාන්නේ එය භාණ්ඩයේ අවසාන මිල තීරණය කරන නිසාය.

අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කරන සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කරන අයගේ වාර්ෂික පිරිවැටුම (වාර්ෂික ආදයම) රුපියල් මිලියන 1.2ට වඩා බොහෝ විට අඩු වීමට ඉඩ තිබේ.

එවිට ඔවුන් අනිවාර්යයෙන්ම VAT සඳහා ලියාපදිංචි විය යුතු නොවේ. බොහෝ එවැනි ව්‍යාපාර කරන්නන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ VAT ගෙවීමට ලියාපදිංචි වී නොමැති නිසා ඔවුන්ට තම නිෂ්පාදන සඳහා දැරීමට සිදු වූ VAT අගය ආපසු ගෙවීමක් සිදු නොවේ.

එනිසා ඔවුන්ට ගෙවීමට සිදු වූ බදු මුදල ද දරාගැනීමට සිදු වේ. එය එම නිෂ්පාදකයාගේ වියදමකි.

එනිසා අවසන් නිෂ්පාදනයක් වෙළඳපොළ වෙත නිකුත් කිරීමේ දී අවසන් මිල තීරණය වන්නේ එම බදු මුදලත් සමගය. එය බොහෝ විට සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට තරගකාරී මිලක් පවත්වාගෙන යාමට බාධා පමුණුවයි.

මෙම බදු ඉහළ දැමීම සෘජුව පාරිභෝගිකයාට සහ සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට බලපෑමක් ඇති කරන නමුත්, එය රාජ්‍ය බදු ආදායමේ වැදගත් ආදායම් මාර්ගයකි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්