නවතම පුවත්

නෙදර්ලන්තයේ ඇති ලංකාවේ තවත් පුරාවස්තු බාරදෙන්න සූදානම්

අසංක

අසංක

නෙදර්ලන්තයෙන් මෙරටට භාරදීමට නියමිත ශ්‍රී ලංකාවට අයත් පුරාවස්තු 6ට අමතරව, ඉදිරියේදී එරට සතුව තිබෙන තවත් ශ්‍රී ලාංකේය කෞතුක භාණ්ඩ රැසක් නැවත මෙරටට භාරදීමට නෙදර්ලන්ත රජය සූදානම් වෙයි.

ඒ සඳහා මෑතකදී පිහිටුවන ලද ශ්‍රී ලාංකීය උපදේශක කමිටුව හරහා ඊට අදාළ කටයුතු ඉදිරියට ක්‍රියාත්මක වනු ඇති බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පවසයි.

වර්ෂ 2022 අප්‍රේල් මස අවසන් කරන ලද දෙස් විදෙස් පර්යේෂකයින්ගේ සහභාගිත්වයෙන් සිදු කළ පර්යේෂණයකින් නෙදර්ලන්තයේ Rijks කෞතුකාගාර එකතුවෙහි ඇති කෞතුක භාණ්ඩ හයක් ශ්‍රී ලංකාවට අයත් කෞතුක භාණ්ඩ බව තහවුරු විය.

මේ වනවිට Rijks කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කර තිබෙන රනින් නිම කරන ලද කොපුව සහිත කස්තානයක්, රිදියෙන් නිමකරන ලද කොපුව සහිත කස්තානයක්, රනින් නිමකළ පිහියක්, මහ තුවක්කු දෙකක් සහ ලෙව්කේ දිසාවේ හට අයත්ව තිබුණා යැයි සැලකෙන කාලතුවක්කුවක් යන කෞතුක භාණ්ඩ හය මහනුවර රාජධානී සමයට අයත් වූ ඒවා බව හෙළිදරව් විය.

වර්ෂ 1765 දී ලන්දේසීන් විසින් මහනුවර රජ මාලිගාව වටලන ලද අවස්ථාවේදී ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම (VOC) විසින් රැගෙන ගොස් ඇති බවද තහවුරු වී තිබේ.

පර්යේෂණයෙන් සිදු කරන ලද තහවුරු කිරීම් මත පදනම්ව මෙම කෞතුක භාණ්ඩ හය නැවත ශ්‍රී ලංකාවට භාරදෙන ලෙස රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ඉල්ලීමක් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් නෙදර්ලන්තයේ අධ්‍යාපන, සංස්කෘතික සහ විද්‍යා කටයුතු පිළිබඳ අමාත්‍යාංශය වෙත යොමුකරන ලදී.

ඒ වනවිට නෙදර්ලන්ත රජය යටත්විජිත කෞතුක භාණ්ඩ ආපසු භාරදිය යුතුය යන්න පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණයකට එළැඹ තිබුණි. ඒ සඳහා රජයට උපදෙස් ලබාදෙනු පිණිස යටත්විජිත කෞතුක භාණ්ඩ ප්‍රතිස්ථාපනය පිළිබඳ ස්වාධීන උපදේශක කමිටුවක් පත්කොට තිබුණි.

එම කමිටුවට ඉදිරිපත් කරන ලද ප්‍රථම ඉල්ලීම වූයේ විදුර වික්‍රමනායක අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කළ එම ඉල්ලීමයි. කමිටුව විසින් එකී ඉල්ලීම සලකා බලනු ලදුව එම කෞතුක භාණ්ඩ හය නිල වශයෙන් නැවත ශ්‍රී ලංකාවට භාර දිය යුතුය යන නිර්දේශය නෙදර්ලන්ත රජයට ලබා දෙන ලදී. ඒ පිළිබඳව නෙදර්ලන්ත රජය විසින් ගනු ලැබූ තීරණය 2023 ජුලි මස 06 වැනි දින ගැසට් නිවේදනයක් මඟින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ. මෙවැනි කෞතුක භාණ්ඩ ප්‍රතිස්ථාපනය කිරීමේ කටයුතු වඩා පහසු කරනු පිණිස ශ්‍රී ලාංකික උපදේශක කමිටුවක් ද මේ වනවිට අමාත්‍ය මණ්ඩල තීරණයක් මත පත්කර තිබේ.

මෙම අවස්ථා පිළිබඳ අදහස් දක්වමින් ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සනූජා කස්තුරිආරච්චි මහත්මිය ප්‍රකාශ කළේ මෙය ශ්‍රී ලංකාවට මෙන්ම නෙදර්ලන්තයට ද ඓතිහාසික වශයෙන් ඉතා සුවිශේෂී අවස්ථාවක් වන බවයි. “විශාල පරිශ්‍රමයකින් සිදුකළ මෙම පර්යේෂණය නිසා ශතවර්ෂ ගණනාවක් පුරා මෙම කෞතුක භාණ්ඩ පිළිබඳව පැවති දුර්මත දුරු කළ හැකි වුණා. ඉපැරැණි ශ්‍රී ලාංකේය ශිල්පීය දක්ෂතා පිළිබිඹු කරන මෙම කෞතුක භාණ්ඩ එම අභිමානය නැවත ජනිත කරවමින් මව්බිමට පැමිණීම සතුටට කරුණක්” බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

“නෙදර්ලන්ත රජය විසින් ක්‍රියාත්මක කළ යටත් විජිත කෞතුක භාණ්ඩ ප්‍රතිස්ථාපනය කිරීමට අදාල ආදර්ශ පර්යේෂන ව්‍යාපෘතියක් (PPROCE)” යටතේ සිදුකළ පර්යේෂණයක් වූ මෙය විදේශයන්හි පවතින ශ්‍රී ලාංකේය කෞතුක භාණ්ඩ පිළිබඳ අධ්‍යයනවල සන්ධිස්ථානයක් ලෙස නම් කළ හැකිය. වර්ෂ 1970 දී එවකට කොළඹ ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂ ධූරය හෙබවූ ආචාර්ය පී.එච්.ඩී.එච්. ද සිල්වා මහතා විසින් සිදුකළ අධ්‍යයනයට පසුව එවැනි අධ්‍යයනයන් සිදුකොට තිබුනේ ඉතා අල්ප වශයෙනි.

ශ්‍රී ලාංකික සහ නෙදර්ලන්ත පර්යේෂකයන්ගෙන් මෙම පර්යේෂන කණ්ඩායම සමන්විත විය. ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (සංස්කෘතික) සෙනරත් වික්‍රමසිංහ, තුවක්කු පිළිබඳ විශේෂඥයෙකු වන චාමිකර පිලපිටිය, කැළණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අශෝක ද සොයිසා සහ ආචාර්ය ගංගා දිසානායක යන විද්වතුන්ගෙන් ශ්‍රි ලාංකික පර්යේෂණ කණ්ඩායම සමන්විත විය. අතිශය වැදගත් ඓතිහාසික ලිපි ලේඛන සපයා දෙමින් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව ද විශේෂ සහයෝගයක් පළකරන ලදී.

මෙම කෞතුක භාණ්ඩවලට අදාල ඓතිහාසික ලිපි ලේඛන, ලන්දේසි වාර්තා සහ ශිල්පීය හැකියාව අධ්‍යයනයට ලක් වූ අතර ඒවායේ කලාත්මක අගය, තාක්ෂණය සහ රසායනික සංයුතිය යනාදිය මහනුවර යුගයේ කෞතුක භාණ්ඩ බවට හඳුනාගැනීම සඳහා පර්යේෂකයින් විසින් විශ්ලේෂණයට භාජනය කරන ලදී. Rijks කෞතුකාගාරයේ ඇති රන් හා රිදී කස්තාන දෙක වර්ෂ 1765 මහනුවර රාජමාළිගය වටලා සිදුකළ කොල්ලකෑම් වලින් ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සංගමය විසින් රැගෙන ගිය ඒවා බවට තහවුරු විය.

පර්යේෂණ සොයාගැනීම්වලට අනුව මෙම කස්තාන දෙක රාජකීය වැඩපලෙහි නිර්මිත ඒවා වේ. මනරම් ලෙස කැටයම් කළ පිහිය ද 18 වැනි ශත වර්ෂයේ කන්ද උඩරට ශිල්පීන්ගේ දක්ෂතාවයන් මනාව පෙන්නුම් කරන අතර එය උඩරට රාජකීය ඇඳුම් පැළඳුම්වල එක් අංගයක් ද වේ.

මහනුවර යුගයට අයත් මහ තුවක්කු දෙක ද මනා ලෙස කැටයම් කළ ඒවා වේ. මේවා ශ්‍රී ලාංකේය තුවක්කු තාක්ෂණය පිළිබිඹු කරන අද්විතීය නිර්මාණ වේ. කිලෝ ග්‍රෑම් විසි අටක් බැගින් යුක්ත වූ මෙම මහ තුවක්කු දෙක උඩරට රජුගේ බලඇණි විසින් භාවිතා කළ ජංගම බර අවි පිළිබඳ කදිම සාක්ෂි සපයයි.

රිදී, රත්‍රන් සහ මැණික්වලින් අලංකාර කරන ලද ලෙව්කේ දිසාවගේ යැයි සැලකෙන කාල තුවක්කුව ද සුවිශේෂී කෞතුක භාණ්ඩයක් වේ. ලියවැල්, කල්පරුක්ෂය, නාරිලතා වැනි උඩරට මෝස්තරවලින් අලංකෘත මෙම කාල තුවක්කුව ලෙව්කේ දිසාව විසින් තෑගි කරන ලද්දක් බවට සටහනකින් ද සමන්විත වේ.

නෙදර්ලන්ත රජය විසින් ශ්‍රී ලංකාවට මෙම භාණ්ඩවල අයිතිය පැවරීමේ නීතිමය ලියකියවිලි අත්සන් කිරීමෙන් අනතුරුව මෙම කෞතුක භාණ්ඩ ශ්‍රී ලංකාවට රැගෙන එන දිනය තීරණය කරනු ඇත.

ඒ සඳහා විශේෂ ප්‍රදර්ශනයක් සකස්කිරීමට ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව මේ වනවිට සූදානම් වෙමින් සිටී “මෙම භාණ්ඩ නෙදර්ලන්තය කරා රැගෙන යාමේ පසුබිම කෙතරම් වේදනාකාරී වූවත් ආපසු භාරදීම ශ්‍රී ලංකාවේ සහ නෙදර්ලන්තයේ රාජ්‍ය තාන්ත්‍රික මිත්‍රත්වය වර්ධනය කරන්නක් වනු ඇතැයි” ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂ ජනරාල් සඳහන් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්