නවතම පුවත්

පින්බර පොසොන් පෝය අදයි, මෙවර රටපුරා දන්සල්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ලක්වාසී බෞද්ධ ජනයා හට කිසිලෙසකවත් කළගුණ සලකා නිම කිරීමට නොහැකි තරම්ම, ලක්වාසීන්ට කල්‍යාණ මිත‍්‍රයෙකු වූ මිහිඳු මහරහතන් වහන්සේව සුවහසක් සැදැහැවතුන්ගේ සිත් තුළ භක්තියාදරයෙන් සිහිපත් වන උතුම් කාලයකි මේ උදාවන්නේ. ඒ පින්බර පොසොන් පොහොයයි. පොසොන් පොහොය කී විට මහින්දාගමනය, මිහින්තලාව නිරායාසයෙන් සිහිපත් වන තරමට එය ලක්වැසි බොදුනුවන්ගේ ජීවිතයට පටිබද්ධ වූ දිනයක්ය. ඒ මක් නිසාද යත්, මෙලොව පරලොව දෙලොවටම හිතසුව පිණිස පවතින බිය රහිතව සරණ යාහැකි උතුම්ම සරණ වූ තෙරුවන් සරණ මේ ලක්දිවට ලැබුනේ පොසොන් පෝය දිනයේ දී බැවිනි. එම දායාදය මෙහි රැගෙන ආවෝ අනුබුදු මිහිදු මහ රහතන් වහන්සේය

ලක්දිව මුටසීව රජු රාජ්‍ය කරන කල්හී, දඹදිව රාජ්‍ය පාලනය කළේ අශෝක අධිරාජ්‍යයාය. අතිශය කෲර යුද වැදීමකින් අනතුරුව කාලිංගය ද තම රාජ්‍යයටම යටත් කොටගත් අශෝක රජු දඹදිව අධිරාජ්‍යය බලයක් පිහිටුවා ගත්තේය. එහෙත් දික් විජය නම් වූ යුධ වැදීමේදී මිය ගිය සුවිශාල මිනිස් ජීවිත ගැන ඔහු තුළ මහත් සන්තාපයක් විය. එය සංසිඳුවා ගනු නොහී පසුතැවිල්ලෙනි රජු කල් ගත කළේ.

මාලිගාවේ ජනේලයෙන් වීදිය දෙස බලාසිටි අශෝක රජු කැලඹුණු මිනිසුන් අතරේ දුටු අසිරිමත් දසුනකි. හත් හැවිරිදි නිග්‍රෝධ රහත් සාමණේරයන් වහන්සේ ශාන්ත පියොවින් මාර්ගයේ ගමන් ගනී. දුටු පමණින් පහන් වූ රජු ඒ සාමණේරයන් වහන්සේ සිය රජ මැදුරට වැඩම කරවා කතාබස් කළේය. නිග්‍රෝධ සාමණේර රහතන් වහන්සේ චණ්ඩාශෝක නමින් ප‍්‍රකටව සිටි දෘඪ සිත් ඇති අශෝක අධිරාජ්‍යයා හට ධම්මපදයේ අප්පමාද වර්ගයේ ගාථා වලින් දහම් දෙසූ සේක. ඒ ධර්මාශෝක රජු බිහිවීමේ ආරම්භයයි.

අතිශයින්ම බුදු සසුන කෙරෙහි පැහැදුනු අශෝක අධිරාජ්‍යයා අසූහාර දහසක් වෙහෙර විහාර කරවා බුදු සසුනට පූජා කළේය. තම ලෙයින් උපන් මිහිඳු කුමාරයාත්, සංඝමිත‍්‍රා කුමරියත් සසුන්ගත කරවූයේය. මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ හා එක්ව රාජ්‍ය අනුග‍්‍රහයෙන් තෙවැනි ධර්ම සංගායනාව කොට සසුන්කෙත පිරිසිදු කරලීමට දායක වූයේය. ධර්ම විජය යටතේ ධර්මදූත ශ‍්‍රාවක පිරිස් පිටත්කොට බුදුරජුන්ගේ ධර්මය ව්‍යාප්ත කරවීය.

ඒ ධර්මවිජය වැඩපිළිවෙළෙහි ප‍්‍රතිඵලයක් ලෙසය අප ලක්දිවට මේ ශ්‍රී සද්ධර්මය දායාද වූයේ. එකල මේ ලක්දෙරණ පාලනය කළ දෙවනපෑතිස් රජු පොසොන් පොහෝ දින දඩකෙළිය පිණිස මිහින්තලාවට පැමිණියේය. ඒ උතුම් පුන් පොහෝ දිනයේදී “අනුබුදු” නමින් ලක්වැසියන්ගේ ගෞරවාදරයට පත් මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල, සුමන සාමණේර යන මහරහතන් වහන්සේලාත් භණ්ඩුක නමැති උපාසකත් යන ධර්මදූත කණ්ඩායම මිහින්තලාවේදී දෙවනපෑතිස් රජු හට හමු විය.

“සමණා මයං මහාරාජ – ධම්මරාජස්ස සාවකා
තවේව අනුකම්පාය – ජම්බුදීපා ඉධාගතා”

“මහරජ, අපි ධර්මරාජයාණන් වහන්සේගේ ශ‍්‍රාවක වූ ශ‍්‍රමණයෝ වෙමු. ඔබට අනුකම්පා පිණිස දඹදිව සිට මෙහි පැමිණියෙමු” යි රජුට පැවසූ මිහිඳු මහ රහතන් වහන්සේ රජුගේ නුවණැති බව විමසීමට ප‍්‍රශ්න කළේය.

මහා පින්වන්ත දේවානම්පියතිස්ස රජුගේ නුවණැතිබව දැනගත් උන්වහන්සේ ඒ මොහොතේ පටන් මේ ලක්වැසියන්ගේ දෙලොව අභිවෘද්ධිය තකා කටයුතු ආරම්භ කළේය. නිර්මල සම්බුද්ධ දේශනා මගින් ලක්වැසියන්ගේ සිත් තුළ ශ‍්‍රද්ධාව ජනිත කරවා, මාර්ගඵල ලාභීන් බිහිකරවා, ගෞතම බුදු සසුන මෙලක් දෙරණේ ස්ථාපිත කරවා අනුපමේය සේවයක් කරමින් තෙරුවන් සරණ මූලික කරගත් සොඳුරු සංස්කෘතියක් බිහිකරවූවෝ, දෙලොව යහපත පිණිස කටයුතු කරනා උතුම් මිනිස් පරපුරක් මෙලක් දෙරණේ බිහිකරවූවෝද අප ලංකාද්වීපයට උතුම්ම කලණ මිතුරාණන් වූ මිහිඳු මහරහතන් වහන්සේ ය.

වත්මන් අපටත් තෙරුවන් පිහිට, ධර්මයේ පිහිට ලැබීමට අවස්ථාව ලැබුණේද උන්වහන්සේ නිසාවෙන්මය. එනිසා මේ පින්බර පොසොන් පොහෝ දිනයේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ සිහි කරමින් අපිත් උන්වහන්සේ මේ ලක්දිවට දායාද කළ අකාලික වූ නිර්මල ශ්‍රී සද්ධර්මයේ පිළිසරණ සලසා ගන්නට මහන්සි ගනිමු.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්