පොලී අනුපාත තවත් පහළට

Picture of අසංක

අසංක

මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 10.00 සහ සියයට 11.00 දක්වා පදනම් අංක 100කින් අඩු කිරීමට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් පළමු මුදල් ප්‍රතිපත්ති සමාලෝචනය ඊයේ( ඔක්තෝබර් 04) දින පැවැති අවස්ථාවේදී ය.

මැදි කාලීනව උද්ධමනය අපේක්ෂිත 5% මට්ටමේ ස්ථාවර කිරීම සහ එමගින් ආර්ථිකය එහි විභව වර්ධන වේගය කරා ළඟා වීමට අනුබල දීමේ අරමුණින්, දේශීය ආර්ථිකයේ අඩු උද්ධමනය සහ යහපත් උද්ධමන අපේක්ෂා ඇතුළු වත්මන් සහ අපේක්ෂිත වර්ධනයන් පිළිබඳ මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි.

ප්‍රතිපත්ති පොලී අනුපාතිකවල මෙම අඩු කිරීමත් සමග, මහ බැංකුව විසින් බලපත්‍රලාභී බැංකු වෙත පොලී අනුපාතික අඩු කිරීම සඳහා නිකුත් කරන ලද නියාමන ක්‍රියාමාර්ග සහ රජයේ සුරැකුම්පත්වල අවදානම් අධිමිල සැලකිය යුතු ලෙස අඩු වීම ඇතුළුව, මින් පෙර ක්‍රියාත්මක වූ සැලකිය යුතු මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීම් හේතුවෙන්, ඉදිරි කාලයේදී වෙළඳපොළ පොලී අනුපාතිකවල, විශේෂයෙන්ම ණය පොලී අනුපාතිකවල, පහළ යෑම වේගවත්වනු ඇතැයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අපේක්ෂා කරයි.

අඛණ්ඩව මුදල් තත්ත්වයන් ලිහිල් කිරීමේ ප‍්‍රතිලාභ පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට ප‍්‍රමාණවත් ලෙස සහ කඩිනම් ලෙස ලබා දෙන ලෙස මූල්‍ය අංශයෙන් ඉල්ලා සිටින අතර, එමඟින් ආර්ථිකය අපේක්ෂිත පරිදි යථා තත්ත්වය පත් වීම සඳහා සහාය වනු ඇත.